නාවික හමුදා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් තවදුරටත් ඉදිරියටම

ඔක්තෝම්බර් 01, 2019

දිවයින වටා වෙරළබඩ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවීමෙන් කටයුතු සිදුකරගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත. නාවික හමුදා මාධ්‍යට අනුව උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදා භටපිරිස්  විසින් එවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙකක් සඳුදා දින (සැප්තැම්බර් 30) වෙත්තලකේණි සහ පේදුරුතුඩුව වෙරළ තීරය ආශ්‍රිතව සිදු කර ඇත.

වෙරළ තීරයන්හි ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම සදහා වෙරළ තීරයේ තිබු පරිසරයට තර්ජනයක් වන ප්ලාස්ටික් ඇතුළු  සියලු අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා සිදුකරන ලද මෙම වැඩසටහන සදහා නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.
එවැනි පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් මෙම සතිය තුල උතුරු නාවික හමුදා සාමාජිකයින් විසින් ආලියාවලෙයි, සිල්ලාලෙයි සිට සවුක්කාඩි දක්වා, පෙරුන්කාඩු, කන්කසන්තුරය සහ මණ්ඩතිව් වෙරළ තීරවල ද සිදු කර ඇත.

මෙම වැඩසටහන් සදහා එක්වෙමින් වයඹ නාවික විධානය විසින් සිකුරාදා දින (සැප්තැම්බර් 29) මුල්ලිකුලම් සිට පූක්කුලම් දක්වා සහ ආලන්කුඩා සිට නොරොච්චෝ‍ලේ  දක්වාත් වෙරළ තීරයන්  පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

මේ අතර, ‘නීල හරිත පාරාදීසය’ ව්‍යාපෘතිය  යටතේ තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ආශ්‍රිතව සිදුකරන ලදී. සෝබර් දුපතේ වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව කුණු කසළ සහ වෙනත් අපද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කිරීමේ වැඩසටහනක්ද නාවික හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත.