ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

ඔක්තෝම්බර් 01, 2019

එළඹෙන 70 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට පෙර ධජයන්ට සෙත් පැතීමේ තවත් ආශිර්වාද උත්සවයක් අද දින (ඔක්තෝබර් 01) උදෑසන අනුරාධපුර අති පූජනීය ‘ජය ශ්‍රී මහා බෝ සමිඳු’ අභියස දී පැවැත්විණි. අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් ආශිර්වාද උත්සවයේ මුලසුන දැරීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු ආයතන නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් සියගණනක් සෙත් පැතීමේ උත්සවය සඳහා සහභාගී වූ අතර ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට ධජයන්ට ආශිර්වාද කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී  මහා නාහිමියන් විසින් විශේෂ අනුශාසනාවක්ද සිදුකරන ලද අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පුජා භුමි සංවර්ධනය උදෙසා රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත පූජා කරනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
 
මීට පෙර පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 28) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ධජයන්ට සෙත් පැතීමේ උත්සවය සිදුකරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරය එලඹෙන ඔක්තෝම්බර් මස 10 වෙනි දින සමරනු ලබයි.