කොළඹ ගුවන් හමුදා කඳවුරු ලෝක ළමා දින සැමරුම - 2019

ඔක්තෝම්බර් 02, 2019

ලෝක ළමා දිනය සමරමින් ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (2019 ඔක්තෝබර් 01) කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම වැඩසටහන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ළමුන් 790 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ උද්‍යෝගිමත් කුඩා ළමුන් වෙනුවෙන් ක්‍රීඩා කලාප, බවුන්සි කාසල්, ලයන් කිං තේමා ප්‍රදේශය, ගුවන් හමුදා සුනඛ සංදර්ශනය ඇතුළු ක්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කරන තිබුණි.

වවුනියා / මහකච්චකොඩිය රජයේ පාසලේ සිසුන් පනස්තුන් දෙනෙකු වෙත අමතක නොවන අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ඔවුන් තම රටේ අගනුවර වෙත පළමු වතාවට පැමිණිමට අවස්ථාව උදා කර දෙන ලදී. තවද, මෙම අවස්ථාවට සහභාගී වීමට කොළඹට පැමිණීමට පෙර රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීමටද ඔවුන්ට අවස්ථාව උදා කරදී ඇත.

මේ අතර, ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නවගත්තේගම රලපනාවා ප්‍රාථමික පාසලේ අඩු පහසුකම් සහිත සිසුන් වෙනුවෙන් විශේෂ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් විසින් ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.

මෙම සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ‘ගුවන් කැකුළු සිත්තම්’ චිත්‍ර තරඟය සංවිධානය කර තිබුණු අතර වැඩසටහන අතරතුර එම තරඟයේ ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ සෑම දරුවෙකුටම සේවා වනිතා ඒකකය විසින් වටිනා ත්‍යාග පාර්සලයක් සහ පැළයක් ලබාදීමට ද කටයුතු කර තිබුණි.

කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරින් සහ විවිධ කඳවුරු සහ ස්ථානයන්හි ගුවන් භටයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.