ශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙළට බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය අහ්මඩ් සාමිගේ පැසසුම්

ඔක්තෝම්බර් 03, 2019

පාස්කු ඉරිදා කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය විසින් මතු කළ දැඩි අභියෝග මධ්‍යයේ සහජීවන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන ලද වැඩපිළිවෙළ පොදු රාජ්‍ය මණ්ඩල, එක්සත් ජාතීන්ගේ හා දකුණු ආසියාව පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය බ්‍රිතාන්‍ය විම්බල්න්ඩන් හි තරික් අහ්මඩ් සාමිවරයාගේ (Lord Tariq Ahmed of wimblendon) පැසසුමට ලක් වෙයි.

ගෝලීය තර්ජනයක් බවට පත් ව ඇති සියලු ම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයෙහි ඇති වැදගත්කම ද ඔහු අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක නිරත අහ්මඩ් සාමිවරයා ඊයේ (01) කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

අන්තවාදී මානසිකත්වයකින් යුත් පුද්ගලයන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ආගමක් විසින් කිසිවිට අනුමත නොකරන බව ද සාමිවරයා මෙහි දී සඳහන් කළේ ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා සහ ත්‍රස්තවාදී සිදුවීම් සහ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ විදෙස් සබඳතා විමර්ශනයට ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත සහ පොලිසියට ලබා දුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී එක්සත් රාජධානිය වෙත සිය කෘතඥතාවය පිරිනැමීමට ද කටයුතු කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලය විසින් දිගු කලක් පුරා ශ්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන ආධාර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහි දී කෘතවේදී ව සිහිපත් කළ අතර අහ්මඩ් සාමිවරයා සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලය යනු පුද්ගල, පොදු හරයන් සහ ඓතිහාසික බැඳීමෙන් යුත් ජාලයක් බවයි. කාලගුණික විපර්යාස වැනි පාරිසරික ගැටලු සඳහා සහය වීමේ හැකියාව පොදු රාජ්‍ය මණ්ඩලය සතු බව ද බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය ද එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය