සමුද්‍ර සම්පත් නීති විරෝධීව ලග තබාගත් පුද්ගලයන් නාවික හමුදාව අත්අඩංගුවට

ඔක්තෝම්බර් 03, 2019

මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් නීතිවිරෝධී ලෙස ලග තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතිය තුල පුද්ගලයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍යට අනුව බදාදා දින (ඔක්තෝබර් 02) මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා භටයන් චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 550 ක් හා හක් බෙල්ලන් 04 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව අඟහරුවදා දින (ඔක්තෝම්බර් 01) තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ දී සිදුකල සෝදිසි කිරීමකදී වලංගු ලියකියවිලි නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු හක් බෙල්ලන් 226 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එදිනම නාවික හමුදාව සින්නකුඩිඉරිප්පු පොලිසිය සමග එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, නැගෙනහිර කලාපයේ සිනම්වේලි ප්‍රදේශයේදී තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු අගහරුවාදා (ඔක්තෝම්බර් 01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ධීවර බලධාරීන් වෙත භාර දී තිබේ.

ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට සමුද්‍ර ජීවීන් හා සම්පත් ආරක්ෂා කිරීම සඳහා විශාල  කාර්යභාරයක් සිදු කරයි.