කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය (Open Day) හෙට (ඉරිදා) දින

ඔක්තෝම්බර් 05, 2019

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය විවෘත දිනය (Open Day) හෙට (ඔක්තෝබර් 06) දිනට යෙදී ඇත. මෙහිදී උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට විශ්ව විද්‍යාලය වෙතින් සිදු කරන පාඨමාලා සහ ඔවුන්ට ලබාගත හැකි ප්‍රතිලාභයන් පිළිබදව අදහසක් ලබා දීම සිදුකෙරේ.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය වෙතින් උසස් අධ්‍යාපනය ලබාගැනීමට කැමති ඕනෑම සිසුවෙකුට ඉරිදා දින  (ඔක්තෝබර් 06) පෙ.ව. 9.00 සිට ප.ව 4.00 දක්වා විශ්ව විද්‍යාලය වෙත පැමිණ එහි පීඨයන් සහ පාඨමාලාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. පැමිණෙන සිසුනට උපකාර කිරීම සඳහා එදිනට පැමිණෙන අධ්‍යයන පීඨයන්හි අධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමඟ ද ඔවුන්ට සාකච්චා කිරීමට අවස්ථාව සළසා ගත හැකිය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පළමුව රත්මලාන ප්‍රදේශයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරන ලදී. 1988 අංක 27 දරණ සංශෝධන පනත මගින් එය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලදි. එමඟින් ආරක්ෂක අධ්‍යයනය සඳහා වන උපාධි සහ  පශ්චාත් උපාධි පිරිනැමීම දක්වා බල ගැන්වෙයි.

මෙම කීර්තිමත් විශ්ව විද්‍යාලය පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ (එක්සත් රාජධානියේ) සාමාජිකතත්වය දරන අතර වන අතර නවීන ආරක්ෂක කළමනාකරණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා කෙඩෙට් නිළධාරින්ට දැනුම හා පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන් පවත්වාගෙන යයි.

ආරක්ෂක හා උපක්‍රමික අධ්‍යයන, ඉංජිනේරු, නීතිය, කළමනාකරණ, සමාජ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, පරිගණක, සම සෞඛ්‍ය විද්‍යාව, නිර්මිත පරිසරය සහ අවකාශීය විද්‍යාව හා පර්යේෂණ හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති හමුදාමය නොවන බාහිර සිසුන් සඳහාද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙතින් එම පාඨමාලා හැදෑරිය හැක.

සිසුන්ට සම්පූර්ණ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා සියලු පහසුකම් සහ හිතකර පරිසරයක් සහිත විශ්වවිද්‍යාලයකි රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. සුරියවැව පිහිටා ඇති දක්ෂිණ මණ්ඩපය දකුණු ප්‍රදේශයේ ස්වාභාවික පරිසරයක විශ්වවිද්‍යාලය වෙනුවෙන් සිදු කරන ලද නව එකතු කිරීමකි.

විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර සිසුන් සඳහා ද විවෘතය.