පොලිස් විශේෂ කාර්ය බළකායේ 76 වන මූලික පුහුණු පාඨමාලා විසිර යාමේ පෙළපාලිය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

ඔක්තෝම්බර් 05, 2019

කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (ඔක්තෝබර් 05) පැවති 76 වන මුලික වන සටන් පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.

විශේෂ කාර්ය බලකා පුහුණු පාසල වෙත පැමිණි ජනපතිතුමන් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

විසිර යාමේ පෙළපාලිය සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද සහභාගී විය.

පුහුණු පාසලේ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ රසායනික, ජෛව විද්‍යාත්මක, විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය  ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විවෘත කිරීමද ජනපතිතුමන් විසින් සිදුවිය.

මෙම විසිර යාමේ පෙළපාලියේදී මුලික පුහුණුව සාර්ථකව හදාරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 50 දෙනෙකු, ආධුනික පොලිස් ‍කොස්තාපල්වරු 183 දෙනෙකු, ආධුනික පොලිස් කොස්තාපල්වරියන් 41 දෙනෙකු විසිර යන ලදී. පුහුණු පාඨමාලාවේ විශේෂ දක්ෂතා දක්වන ලද නිලධරයින් හට සහතික සහ සම්මාන ප්‍රධානය අතිගරු ජනපතිතුමන් අතින් සිදු විය.

විසිර යාමේ පෙළපාලිය විචිත්‍රවත් කරමින් පැරෂුට් සංදර්ශනයක් ඇතුළු විශේෂ සංදර්ශනය කිහිපයක් පැමිණ සිටි අයවළුන්ට දැකබලා ගැනීමට හැකි විය. 

ඉන් අනතුරුව රුස්ව සිටි පිරිස ඇමතූ අතිගරු ජනපතිතුමන් රටේ පොදු ජනතාව අතර පොලිස් විශේෂ කාර්ය බළකාය ඉහල පිළිගැනීමක් සහ විශ්වාසයක් තිබෙන බවත් රටේ ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් සිදු කරන ලද සේවය වෙනුවෙන් සිය ප්‍රශංසාව පුද කර සිටියේය.

මෙම අවස්ථාව සිහිවනු වස් ජනපතිතුමන් වෙත සමරු තිළිණයක්ද පිළිගැන්විය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය නිළධාරින්, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආගමික නායකයින් සහ විසිර යන ආධුනික නිලධරයින්ගේ පවුල්වල සාමාජිකයින් විශාල සංඛ්‍යාවක්ද සහභාගී විය.