“ගාලු කතිකාවත 2019” ඔක්තෝම්බර් 21 හා 22 යන දෙදින තුළ

ඔක්තෝම්බර් 16, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම වාර්ෂික අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කතිකාවත 2019” මේ මස (ඔක්තෝම්බර්) 21 හා 22 යන දෙදින තුළ කොළඹදී පැවැත්වේ. “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සූදානම් වීම : දශකයක සමාලෝචනය” යන තේමාව යටතේ මෙවර ගාලු කතිකාව 2019 පැවැත්වේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (ඔක්තෝබර් 15) කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙවර ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වෙන වාර්ෂික සාගරික සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගී වීමට නියමිතය.

දසවන වතාවට මෙම වර්ෂයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා රටවල් 55ක්, ජාත්‍යන්තර සංවිධාන 10ක් සහ ආරක්ෂක ආයතන 03ක් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වීමට අපේක්ෂා කරයි.

2010 වර්ෂයේ ආරම්භ වූ ගාලු කතිකාවත, ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණ විෂයෙහි වැදගත් වූ සන්ධිස්ථානයකි. මේ සඳහා සම්බන්ධ වන පාර්ශවයන් හට සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සහයෝගය සහ සම්බන්ධතාවය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නිර්මාණය කර ඇත.

මාධ්‍ය සාකච්ඡාව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් මෙහෙයවනු ලැබූ අතර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මෙම අවස්ථාවට සහභාගී විය.

පසුගිය වසරේ ගාලු ගාලු කතිකාවත 2018 “සහයෝගීතාවය තුළින් සමෘද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම” යන තේමාව යටතේ පැවැත්විණ.