ආරක්ෂක අවශ්‍යතා සඳහා භාවිතා කල කිලිනොච්චි ප්‍රදේශයේ තවත් අක්කර 150.15 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මහජනතාවට භාර දෙයි.

ඔක්තෝම්බර් 18, 2019

 ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිදුකළ ප්‍රථම නිල සංචාරයේදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකට එක්වෙමින් අද උදෑසන (ඔක්තෝබර් 18) රජයේ සහ පෞද්ගලික අයිතිකරුවන්ට අයත් ඉඩම් අක්කර 150.15 ක ප්‍රමාණයක් ඔවුන් වෙත භාර දෙන ලදී.

මේ වන විට දිවයිනේ පවතින සාමකාමී වාතාවරණය තුළ උතුරු හා නැගෙනහිර ආරක්ෂක හමුදාවන්ට අයත් නොවන ඉඩම් නිදහස් කිරීමේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්තියට අනුව, කිලිනොච්චි ප්‍රදේශය ඉඩම් නිදහස් කිරීම සිදුකෙරේ.

ඒ අනුව, කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිලිනගර් ග්‍රාම සේවා කොට්ටාශයේ සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අම්පකාමම් ග්‍රාම සේවා කොට්ඨාශයන්ට අයත් 57 වන සේනාංකය සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මේ දක්වා භාවිතා කරන ලද රජයේ ඉඩම් අක්කර 139.56 ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 10.59 ක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. අරුමනායහම් මහතා වෙත සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර් කේතීශ්වරන් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහභාගී විය.