ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් සඳහා අධ්‍යාපනික සහ ජීවනෝපාය ආධාර

ඔක්තෝම්බර් 19, 2019

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන (SF HQ-KLN) මගින් සංවිධානය කරන ලද උත්සවයකදී සිකුරාදා (ඔක්තෝබර් 18) දින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ දරුවන් පිරිසකට අධ්‍යාපන ආධාර ලබා දෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කෙටි උත්සවයකදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වල පාසල් යන ළමුන් 20 දෙනෙකු වෙත බැංකු ඉතුරුම් පොත්, පාසල් උපාංග, නිල ඇඳුම්, පාසල් බෑග් සහ පොත් ඇතුළු පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

මීට අමතරව, පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 15 දෙනෙකු වෙත  වෙල්ඩින් ප්ලාන්ට්, ඇඹරුම් යන්ත්‍ර, විදුලි ග්‍රීල් යන්ත්‍ර, පෙදරේරු ආධාරක, පාපැදි, රෝද පුටු,සූර්ය පැනල සහ ගෘහ උපකරණ ඇතුළු ජීවනෝපාය ආධාරක උපකරණ ද පිරිනමන ලදී.

මෙම ප්‍රතිලාභීන් අදාළ ග්‍රාම සේවා නිලධාරීන් විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව එම පරිපාලන ප්‍රදේශවල වගකිවයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ඡා කොට තෝරා ගැනීම සිදුකර ඇත.

මෙම අවස්ථාවට කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය,ජේෂ්ඨ හමුදා නිළධාරින්, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සහ සිවිල් වැසියන් සහභාගී විය.