ජපාන අධිරාජ්‍යයාගේ රාජභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ජනපති ජපානය බලා පිටත්ව යයි

ඔක්තෝම්බර් 21, 2019

ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවිම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (21) උදෑසන ජපානය බලා පිටත්ව ගියේය.

ඒ ජපාන රජයෙන් ලැබුණු විශේෂ නිල ආරාධනය පරිදි ය.

ලෝක නායකයෝ රැසක් සහභාගීවන මෙම උත්සවය හෙට දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් රජමාලිගාවේ දී පැවැත්වෙන අතර, උත්සවයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා, රාජ්‍ය නායකයන්, වෙනුවෙන් පවත්වන භෝජන සංග්‍රහට ද ජනාධිපතිතුමා එක් වනු ඇත.

මෙම සංචාරයේ දී ජනාධිපතිතුමා ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා හමුවීමට ද නියමිතව තිබේ.

ජපානයේ අධිරාජ්‍යා ලෙස සිටි අකිහිතෝ අධිරාජ්‍යා වසර 30කට පසු ඉකුත් මැයි මාසයේ සිය ධූරයෙන් ඉවත්වන ලද්දේ 1817න් පසු එලෙස තම ධූරය අත්හරින ලද ප්‍රථම ජපාන අධිරාජ්‍යයා බවට පත්වෙමිනි. 2019 මැයි 01 වන දින ඔටුන්න හිමි කුමරු වන නරුහිතෝ ජපානයේ 126 වන අධිරාජ්‍යයා වශයෙන් පත් විය.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය