“කොළඹ ගුවන් සම්මේලනය 2019” ආරම්භ වේ

ඔක්තෝම්බර් 24, 2019

අන්තර් ජාතික සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහභාගී විය.

එම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ(විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාද විශේෂ අමුත්තකු ලෙස සහභාගී විය.

එම ස්ථානයට පැමිණි ගරු ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් පිළිගන්නා ලදී.

“කුඩා ගුවන් හමුදාවක්: අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියට” (A Small Air Force: Way Forward in Achieving Future Vision) යන තේමාව යටතේ දෙදින වැඩමුළුව පැවැත්වේ.

ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණය මෙවර පැවැත්වෙන්නේ 5 වන වතාවටයි.

මෙවර ගුවන් සම්මේලනය සදහා සියළුම කලාප නියෝජනය කරමින් හමුදා නායකයින්, තාක්ෂණික විශේෂඥයින්, ගෝලීය චින්තනයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වේ.

කොළඹ ගුවන් සම්මන්ත්‍රණය 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එතැන් සිට මේ දක්වා එමගින් අනාගතය පිළිබඳ දැක්මක් සහිතව ගුවන් බලය යෙදවීමේ විවිධ අංශ පුළුල් කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට හමුදා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා විද්වතුන් සඳහා ශක්තිමත් වේදිකාවක් ස්ථාපිත කිරීම සිදු කරයි.

දින දෙකක් පුරා පැවැත්වෙන සම්මන්ත්‍රණ සැසිවාරයන්හිදී හමුදා නිලධාරීන් සහ වෘත්තිකයන් විසින් තේමාත්මක සාකච්ඡාවන් සහ ඉදිරිපත් කිරීම් සිදුකරයි.

මෙවර සම්මේලනය “කුඩා ගුවන් හමුදාවක්: අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියට” (A Small Air Force: Way Forward in Achieving Future Vision) යන තේමාව යටතේ අනාගතයේ දී කුඩා ගුවන් හමුදාවන්ගේ කාර්යභාරය ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එමඟින් ජාතික  ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කරුණු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීමේදී ගුවන් බලයේ උපායමාර්ගික මැදිහත්වීමේ වැදගත්කම මෙන්ම ආරක්ෂක ගැටළු, ගෝලීය උණුසුම සහ ස්වාභාවික විපත් වැනි පුළුල් වන ගෝලීය ගැටළු කෙරෙහිද අවධානය යොමු කෙරේ.

 පසුගිය වසරේ “කොළඹ ගුවන් සම්මේලනය 2018”,“ශ‍්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග” ̃යන තේමාව යටතේ පැවැත්විණි.