සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

අගෝස්තු 01, 2019

අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් බිඳුණු හදවත් යළි එක් කිරීමට ආගමික නායකයන් නායකත්වය ගත යුතු අතර පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා දේශපාලනඥයන් ද ඒ සඳහා ජාතියේ වගකීම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමිනි.
අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් අහිමි වූ ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් අන්තවාදය පරාජය කර මතු පරපුර වෙනුවෙන් රට තුළ සාමය, සමඟිය සහ සහජීවනය තහවුරු කිරීමට සියලුදෙනාට එකට එක් විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 සිදුවීමත් සමග රටේ ජනතාව අතර ඇති වූ වෛරය, බිය, සැක සහ අවිශ්වාසය තුරන් කිරීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බවයි.

සාමය, සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැංවීම උදෙසා කැපවීමෙන් කටයුතු කරනවා සේම ත්‍රස්තවාදය විනාශ කිරීමට ද කැපවි සිටින බව අවධාරණය කළ ජනාධිපතිතුමා ත්‍රස්තවාදයට රටේ කිසිදු තැනක ඉඩක් ලබා නොදෙන බවත් එය විනාශ කිරීම වෙනුවෙන් රාජ්‍ය බලය උපරිම ලෙස යොදවා තිබෙන බවත් පැවසීය.

මේ අතර ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ රටේ ජාතික සමගිය වෙනුවෙන් සියලු ආගමික නායකයන්ගේ මඟපෙන්වීමෙන් සියලු දේශපාලන පක්ෂ එක මතයකට පැමිණිය යුතු බවයි.

ඒ අනුව ජනතාව අතර බිය සැක සහ අවිශ්වාසය ඇතිකරන ක්‍රියාවන්ගෙන් සහ හැසිරීම්වලින් සියලුදෙනා බැහැරව කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

සර්ව ආගමික නායකයන්ගේ සහ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් මෙම ජාතික සමුළුව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආගම් හා ජාතීන් අතර සාමය, සහජීවනය, ඉවසීම සහ විශ්වාසය වර්ධනය කිරීම, විවිධ ආගමික ජනකොටස් සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වන පණිවුඩයක් ලෝකවාසින්ට සැලසීම සහ මෙරට අන්‍යාගමික ජනතාව සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වන බව සහතික කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.

සර්ව ආගමික නායකයන් සහ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් රැසක් මෙම සමුළුවට එක්ව සිටි අතර ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් ද එක්ව සිටියහ.

සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව

2019-07-30 කොළඹ නෙළුම් පොකුණ රඟහල

සාමය සංහිඳියාව, සහජීවනය සහ සමගිය සඳහා වූ මුස්ලිම් නායකත්වයන් විසින් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්තුමාගේ නායකත්වයෙන් පවත්වන මේ සමුළුව මා විශ්වාස කරනවා මේ රටේ සියලු ජන කොටස් අතරේ ඇතීවී තිබෙන බිය, සැකය, අවිශ්වාසය, ඉවත් කරන්න යම් ආකාරයක පිටිවහලක්, ශක්තියක් වෙයි කියලා.

පසුගිය අප්‍රේල් 21 සිදූවූ ඛේදවාචකයෙන් මගේ ලක්වැසි බෞද්ධ ද, හින්දු ද, මුස්ලිම් ද, කතෝලික ද කියන ප්‍රශ්නය නෙවෙයි තියෙන්නේ. ඔවුන් අපේ සහෝදර ජනතාවයි. ඒ සමඟම විදේශිකයන් රාශියක් මිය ගියා. එයින් ආබාධිත අසරණ තත්ත්වයට පත්වුණා. අපිට අහිමි වූ ජීවිත නැවත ගෙන්වාගන්න පුළුවන්කමක් නැහැ. ආබාධිත වී රෝගීන් විදියට සිටින ජනතාව සුවපත් කරන එක පහසු නැහැ. ඒ සියල්ලටම වඩා ජන හදවත් තුළ ඇතිවූ බිය, සැක, අවිශ්වාසය, ත්‍රාසය හා භීතිය ඉවත් කිරීම පහසු නැහැ. ජීවිත අහිමිවීමේ වේදනාව දැන් මාස 3කට ආසන්න කාලයක් ගතවී තිබුණත් අපේ හදවත් තුළින් අඩුවී නැහැ. ඒ ඛේදවාචකය හේතුවෙන් මුස්ලිම් ජනතාව අතරේ තිබුණු සමගිය බැඳීම හා විශ්වාසය පුදුම විදියට බිඳී ගියා. 2013 කළුතර අලුත්ගම ප්‍රදේශයේ සිද්ධිය, 2017 දී මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම ඔබට මතක ඇති. ඒ සිදුවීම් සමග අප්‍රේල් 21 දා සිදුවීම හාත්පසින්ම වෙනස් කියලා ඔබ දන්නවා. රජයක් විදියටත් පෞද්ගලිකවත් මගෙත් රජයේත් පොදු මහා ප්‍රයත්නය හා කැපවීම මේ රටේ ජාතීන් අතර සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමයි. නමුත් අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව සංහිඳියාව, ජාතීන් අතර සහෝදරත්වය හා සාමය කියන වචනවලටත් වෛර කරන්න පටන් ගත්තා මොන සංහිඳියාව ද කියලා. මොන සමගිය ද. මොන සහෝදරත්වය ද කියලා ජනතාවගේ හිතේ වෛරය, ක්‍රෝධය, ද්වේෂය ඇතිවුණා. අපිට තුවාලයක් සනීප කරන්න පුළුවන්. නමුත් හිත් සනීප කරන්න පහසු නැහැ. බෞද්ධ දර්ශනය, කිතුනු දහම, හින්දු දහම නැත්නම් ත්‍රිපිටයක ද කුරාණය ද භගවත් ගීතාව ද බයිබලය ද මේ සියල්ලේ අපේක්ෂාව වන සාමය මිනිසුන් විසින් බිඳින එක අද ලෝකයටම ප්‍රශ්නයක්. කිසිම ආකාරයක ත්‍රස්තවාදී ප්‍රහාරයක් අපට සිදුවෙයි කියලා අප විශ්වාස කළේ නැහැ. අප සිතුවේ නැති දෙයක් සිදුවුණේ. ඒ වේදනාව මෙතෙකැයි කියා කියන්න පුළුවන්කමක් නැහැ.

මේ පවත්වන ජාතික සමුළුව මඟින් මේ ලෝක මුස්ලිම් නායකතුමාලාගේ කැපවීම, මවුලවිතුමාලාගේ කැපවීම මම ඉතාමත් අගය කරනවා. මේ රටේ සිංහල හා දමිළ ජනතාව තුළ මුස්ලිම් ජනතාව කෙරෙහි විශ්වාසයක් ගොඩනඟන්න මෙවැනි වැඩසටහන් වගේ ම ප්‍රබල වැඩසටහන් අවශ්‍යයි. මේ ඇතිවූ වෙන්වීම හා බෙදීම නැවත සමඟි කිරීම සහෝදරත්වය ඇතිකිරීම පහසු නැහැ කියලා අපි දන්නවා. සෑම අංශයකම අන්තවාදීන් ඉන්නවා. ලෝකය පුරාමත් ඉන්නවා. එයට භාෂාවක්, ජාතියක් නැහැ. මේ රටේ සිංහල ජනතාවට මුස්ලිම් ජනතාව කෙරෙහි දැඩි ක්‍රෝධයක් ඇතිවුණා අප්‍රේල් 21 සිදුවීම සමග. ඒත් එක්කම සිංහල ජනතාව තුළ තවත් එවැනි සිදුවීම් ඇතිවෙයි කියලා බියක් ඇතිවුණා. ඒ වගේම මුස්ලිම් ජනතාව තුළ බියක් ඇතිවුණා සිංහල ජනතාවගෙන් කරදර වෙයි කියලා. ඒ බිය සැක නැතිකරන්න අපි රජයක් විදියට ගත හැකි සෑම පියවරක්ම ගත්තා.

ලෝකයේ කිසිම රටක මෙවැනි ත්‍රස්තවාදී සංවිධානයක් සති තුනකින්, මාසයකින් විනාශ කරලා දැම්මේ නැහැ. නමුත් මගේ උපදෙස් මත, ආරක්ෂක අංශ හා දිනපතා සාකච්ඡා පවත්වමින්, ඒ ත්‍රස්තවාදීන් අපි විනාශ කළා. මම සාමයට, සහජීවනයට කැපවෙනවා වගේම ත්‍රස්තවාදය විනාශ කරන්න මුළු රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම යොදවමින් කැපවෙනවා. අපේ ආරක්ෂක හමුදා වසර 30 ක ත්‍රස්තවාදී යුද්ධයක අත්දැකීම් එක්ක ඉතාමත් පරිණතයි. ඔවුන් ඉතාමත් දක්ෂයි. අප්‍රේල් 21 සිදුවීම අපට වළක්වා ගන්න තිබුණා ඒ තොරතුරු ලැබුණ වෙලාවේ ඒ අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු කළා නම්, මා නිසි ලෙස දැනුවත් කළා නම්. නමුත් අන්තිමේ මාත් වැරදිකාරයෙක් කරන්න උත්සාහ කළා. මට අභූත චෝදනා කළා. මේ සිදුවීම වෙන්න කලින් මම දන්නවා කියලා චෝදනා කළා. ඒ තරම් කුහක, ඒ තරම් තමන් නිවැරදි වෙන්න වැඩකරපු නිලධාරීන් පිරිසක් හිටියා. ඒ අහිංසක ජීවිත අපට බේරාගන්න තිබුණා අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කළා නම්. ඒ නිසා ඔබ ගෙන එන පණිවුඩය මාගේ ආදරණීය මාතෘභූමියට, මේ ජාත්‍යන්තර මුස්ලිම් නායකයන් විදියට ඔබ සියලු දෙනාම, මේ රටේ ජාතීන් තුළ සහජීවනය ගොඩනඟන්න අවංකවම කැපවෙනවා කියලා මම විශ්වාස කරනවා.

අපිට පැහැදිලිවම ප්‍රශ්න රාශියක් තිබෙනවා. රට තුළ සිටින අන්තවාදී කොටස්වල හැසිරීම, අපි කොච්චර සමගි කරන්න උත්සාහ කළත් ඇතැම් අයගේ තිබෙන ක්‍රියාකාරකම්, ඒවා බරපතළ ප්‍රශ්න. ඇතැම් අයට අවශ්‍ය වන්නේ ගැටුම්, බෙදීම්, වෙන්වීම්, තමන් ගැන පමණක් සිතීම. අපි කොතෙක් දුරට එකිනෙකාට වෛර කරනවාද. “නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං, අවේරේනච සම්මන්ති – ඒස ධම්මෝ සනන්තනෝ ” නමුත් ඒ ආධ්‍යාත්මික ධර්මයන් අනුව අපි කොතෙක් කටයුතු කළත් ම්ලේච්ඡත්වයට එකතු වන ත්‍රස්තවාදීන් ඒ ආධ්‍යාත්මික ගුණධර්මවලට ගරු කරන්නේ නැහැ. අප්‍රේල් 21 බෝම්බ පිපිරීමේ සිදුවීම මුස්ලිම් සුළු ජනකොටසක් විසින් කළා. ඒකෙන් සමස්ත මුස්ලිම් ජනතාවට කොයිතරම් හිරිහැරයක් වුණාද. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ඒ මුස්ලිම් සුළු කොටසක් කළ සිදුවීමක් නිසා තමන්ගේ ජාතියටම මොනතරම් පීඩාවක් විඳින්න සිදුවුණාද. ඒ සිදුවීම තුළ එහි ප්‍රතිඵලයක් විදියට අනෙක් ජන කොට්ඨාසවලට මොනතරම් පීඩාකාරී තත්ත්වයක් ඇතිවුණාද.

අපේ ස්වාමීන් වහන්සේලා මීට පෙර දේශනා කළා වගේ මේ සමුළුව පිළිබඳවත් විවිධ විවේචන තිබෙනවා. මෙම සමුළුව සාමය සඳහා තිබෙන එකක් නිසා, මමත් සාමය සඳහා කැමති නිසා අතදෙනවා. ඒවාටත් නොයෙක් විවේචන සිදුකරනවා. විවේචන කරන්න බොහොම පහසුයි. නමුත් මේ විනාශ වෙලා, කුණු වෙලා, තිබෙන මේ සමාජය යහපත් කරන්න, සුවපත් කරන්න, පහසු නැහැ. මේ සඳහා අපි සෑම කෙනෙක්ම කැපවෙන්න ඕන. අපේ රටේ මහා සංඝරත්නය, අනෙකුත් පූජකතුමන්ලාගේ නායකත්වය තුළ මේ රටේ දේශපාලන අංශ එක් මතයකට එන්න ඕන ජාතික සමගිය පිළිබඳව. දේශපාලන වාසි තකා, දේශපාලන න්‍යාය පත්‍ර නොතකා, රට වෙනුවෙන් හිතලා අපි හැමෝම එකතු වෙලා, මේ තිබෙන ප්‍රශ්නය අපි විසඳගන්නට ඕන. එකිනෙකා කෙරෙහි සැකය, බිය, අවිශ්වාසය නැතිකරගන්න ඕන. ඒ බිය සහ සැකය, අවිශ්වාසය නැතිකරගන්න පුළුවන් වෙන්නේ පෞද්ගලික හැසිරීම තුළ තමයි.

ඒ ආදර්ශය හැමකෙනෙක්ම දෙන්න ඕන. අපිට රටක් විදියට ඉදිරියට යන්න බැහැ අපේ මේ ප්‍රශ්න විසඳගන්නේ නැතිව. මේ ප්‍රශ්නවල බැරෑරුම්කම මම හොඳට තේරුම්ගෙන තිබෙනවා. ඇතැම් අය මේ ප්‍රශ්නවලින් අයුතු ප්‍රයෝජන අරන් තිබෙනවා. මෙතැනදී අපි රටක් විදියට හිතන්නට ඕන. මේ ඇතිවුණ භීෂණකාරී තත්ත්වයේ සැබෑ ස්වරූපය අපි තේරුම්ගන්න ඕන. අපිට ඇතිවුණ ජීවිත විනාශය, ආර්ථික විනාශය, රටේ ඇතිවුණ අසමගිය, මේ සියල්ල ඩොලර්වලින් මනින්න බැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාර මුසම්මිල් මහතා සහ විශේෂයෙන්ම මුස්ලිම් මවුලවිතුමාලා, මේ සමුළුවට දේශීය වශයෙන් සහය දුන් සැමටත්, මගේ රට තුළ සමගියක් ඇතිකරන්න, බියකින් තොර සමාජයක් ඇති කරන්න, ඔබ යම්කිසි උත්සාහයක් ගන්නවා නම්, ඒ ගැන මම සතුටු වෙනවා වගේම ස්තුතිවන්ත වෙනවා.

අපි සියලු දෙනාම එකතු වෙලා විවේචන පැත්තකට දාලා, කොහොමද අවිශ්වාසය, බිය නැති කරන්නේ, කොහොමද එක රටක සාමයෙන් ජීවත් වෙන්නේ. මේ සියල්ල අප විසින් විසඳාගත යුතු වෙනවා. ඉතා පැහැදිලිවම මේ රට බෞද්ධ රටක් කියලා අපි හැමකෙනෙක්ම පිළිගත යුතු වෙනවා. මේක මම හැමදාම කියන කතාවක්. බෞද්ධ රටක් විදියට පිළිගෙන, අපේ තිබෙන සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සියලු ජනකොටස්වල සංස්කෘතින් සමඟ අපි කොහොමද එකට ජීවත් වෙන්නේ කියන කාරණාව අපි විසදාගත යුතු වෙනවා. ඒ නිසා මේවායේ විවේචනය පහසුයි, විසඳීම අභියෝගාත්මකයි. එහෙත් අප කළ යුත්තේ පහසු කාර්යයන් නොව, අභියෝගාත්මක කාර්යයන්. පහසු දේවල් විසඳන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙත් අපහසු දේවල් විසඳීම තමයි අභියෝගාත්මක වන්නේ. ඒකට දැනුම, බුද්ධිය, අත්දැකීම්, පරිණත බව, තේරුම්ගැනීම අවශ්‍යයි. අද මේ රටේ තිබෙන්නේ පුළුල් ප්‍රශ්නයක්. මෙය ඉතාමත් බැරෑරුම් තත්ත්වයකයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. මේ ප්‍රශ්න විසඳීමට නම් අවංකව, අනෙක් අයගේ ප්‍රශ්නත් තේරුම්ගෙන කටයුතු කිරීම වැදගත්. අප්‍රේල් 21 ඇති වූ මහා ඛේදවාචකය නිසා ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත එවැනි සිදුවීම් රට තුළ සිදුනොවන්නට මේ සමුළුවෙන් යම් අතදීමක් සිදුවෙනවා නම් එය සුළු ප්‍රමාණයකින් හෝ වැදගත් වෙනවා මගේ රටේ සාමය ඇති කරන්න . ඒ නිසා අපි ඉදිරියටත් ඔබ සියලු දෙනාගේම සහයෝගය දේශීය වශයෙන් මෙන්ම, අන්තර්ජාතික වශයෙන්, බලාපොරොත්තු වෙනවා. එයට ඔබ සෑම කෙනෙක්ම දෙන සහයෝගය අගය කරමින් ඔබ සියලු දෙනාට ස්තුති වන්ත වෙනවා.