දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කෙරේ

ඔක්තෝම්බර් 31, 2019

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පාසල් ළමුන් වෙනුවෙන් දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත. වෙරළාරක්ෂක බලකා මාධ්‍යට අනුව ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේදී ඔක්තෝබර් 24 වෙනි දින මෙම වැඩසටහන සිදුකෙරිණි.

මෑතකදී දියත් කරන ලද ශ්‍රී ලංකා ජාතික දියේ ගිලීම් වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව පැවති මෙම වැඩසටහනට පාසල් සිසුන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.

සුදුසුකම් ලත් වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂක උපදේශකයින් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

දියේ ගිලීම දිවයිනේ සිදුවන මරණයන් සඳහා බලපාන දෙවන ප්‍රධාන කරුණයි. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ මූලිකත්වයෙන් ජලයෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා ජීවිතාරක්ෂාව සහ අනුගමනය කල යුතු නිසි ක්‍රමවේදයන් පිළිබඳව මහජනතාව, විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රජාව සහ පාසල් ළමුන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

වෙරළාරක්ෂක බලකාය විසින් දිවයින පුරා ප්‍රසිද්ධ වෙරළ තීරයන්හි සුදුසුකම් ලත් පළපුරුදු ජීවිතාරක්ෂකයින් ගෙන් සමන්විත ජීවිතාරක්ෂක මධ්‍යස්ථාන පිහිටුවා ඇත. මේ වන විට විදේශීය සංචාරකයින්ද ඇතුළුව ජීවිත 1300 කට අධික සංඛ්‍යාවක් වෙරළාරක්ෂක බලකා  ජීවිතාරක්ෂකයින් විසින් බේරාගෙන ඇත.