ශ්‍රී ලංකා යුද හමුදා බිම්වෙඩි හඳුනාගැනීමේ සුනඛයා සහ හසුරුවන්නා හොඳම මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරිමේ සුනඛ කණ්ඩය බවට පත්වේ

නොවැම්බර් 01, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම් වෙඩි හඳුනාගැනීමේ සුනඛයා ‘සැමී’ සහ හසුරුවන්නා වන 5 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ජී නිශාන්ත බංඩාර වොෂිංටන්හි මාෂල් ලෙගසි ආයතනය විසින් ‘2019 වසරේ හොඳම කණ්ඩායම’ ලෙස තෝරාගෙන ඇත. යුද්ධ හමුදා මාධ්‍යට අනුව, ‘සැමී’ සහ ඇයගේ හසුරුවන්නා වෙත වොෂිංටන් ෆෙයාර්මොන්ට් (Fairmont ) හෝටලයේ දී බදාදා (ඔක්තෝබර් 23) පැවති ‘Clearing the Path’ උත්සවයේදී සම්මාන හිමි විය.

වාර්ෂිකව පැවැත්වෙන තරගාවලිය සඳහා රටවල් 12 ක බිම් වෙඩි හඳුනාගැනීමේ සුනඛ කණ්ඩායම් සහභාගී වී ඇත. සහභාගීවුවන්  විනිශ්චය කරනු ලැබුවේ වොෂිංටනයේ ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් විසිනි.

යුද හමුදා මානුෂීය බිම්වෙඩි ඉවත් කිරිමේ  ඒකකය (HDU) සම්මානයට ලක් වු 3 වන අවස්ථාව මෙයයි. 2016 වර්ෂයේදී ‘ඇල්වින්’ සුනඛයා විසින් මෙම සම්මානය හිමිකරගත් අතර 2012 වර්ෂයේදී බිම්වෙඩි හඳුනාගැනීමේ සුනඛ ‘සීරෝ’ විසින් ද මෙම සම්මානය දිනාගෙන ඇත.

බෙල්ජියම් මැලිනොයිස්, ‘සැමී’ සහ ලාන්ස් කෝප්‍රල් බංඩාර 2012 වර්ෂයේ ඔක්තෝබර් සිට මේ දක්වා බිම්වෙඩි ඉවත් කිරිම සිදුකරයි. පසුගිය වසර 7 ක කාලය තුළ, මාෂල් ලෙගසි ආයතනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බිම්වෙඩි ඉවත් කිරිමේ සහයෝගීතා ව්‍යාපෘතිය යටතේ මේ වන විට උතුරේ වර්ග මීටර් 113, 424 ක භූමි ප්‍රදේශයක බිම්වෙඩි ඉවත් කිරීමට සමත් වී ඇති අතර එහිදි පුද්ගල නාශක බිම් බෝම්බ 28ක්, රැන්ගන් බිම් බෝම්බ 99ක්, T-56 ජීව පතුරම් 403 ක්, අත් බෝම්බ 04 ක්, පුපුරා නොගිය යුධෝපකරණ 04 ක්, මෝටාර් බෝම්බ 06 ක්, RPG බෝම්බ 06ක්, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 200 ක් සහ විද්‍යුත් ඩෙටනේටර් 2 ක් සොයා ගනිමින් එම ප්‍රදේශයන් තුළ පවුල් 435 ක සාමාජිකයින් 1650 දෙනෙකු නැවත පදිංචි කරවීම සඳහා අවස්ථාව සැපයීමට ඔවුන්ට හැකිවිය.