උතුරු පළාතේ අවශ්‍යතා සහිත වුවන් වෙනුවෙන් කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක්

නොවැම්බර් 01, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ තෝරාගත් අඩු ආදායම්ලාභී ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් බ්‍රහස්පතින්දා දින (ඔක්තෝබර් 30) කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

යුද්ධ හමුදා මාධ්‍යට අනුව, මහනුවර පිහිටි ආබාධිතයින් සඳහා කෘතීම අත් පා නිෂ්පාදන මධ්‍යස්ථානයක අනුග්‍රාහකත්වය මත වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අවශ්‍යතා සහිත වුවන් වෙනුවෙන් කෘතීම අත්පා 30 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 2 කට වඩා වටිනාකමින් යුත් කෘතීම අත්පා ලබා දී ඇත.

එම ප්‍රථිලාභීන් තෝරා ගැනීම රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදුකර ඇත.

මෙම වැඩසටහන උතුරු කලාපයේ අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම වෙනුවෙන් හමුදා සාමාජිකයින් විසින් සිදුකරන ලද තවත් සුභසාධන ව්‍යාපෘතියකි.