ලාහුගල වනාන්තරයට ගුවන් හමුදාව බීජ ගුවන් මගින් ඉසියි

නොවැම්බර් 01, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,මාස් හෝල්ඩින්ග්ස් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් දෙවන බීජ ගුවන් මගින් ඉසීමේ වැඩසටහන අම්පාර ලාහුගල වනාන්තරයේදී මෙම සතිය ආරම්භයේදී දියත් කරන ලදී.

රනෝරාව වනාන්තරයේ අක්කර පහක භුමි ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමිනි පළමු බීජ ගුවන් මගින් ඉසීමේ මෙහෙයුම සිදුකරන ලදී. බීජ ඉසීම සඳහා විශේෂයෙන් වෙනස් කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදා එම්.එයි. 17 හෙලිකොප්ටරයකින් වටිනා ශාඛ විශේෂවල බීජ 5,000 ක් පමණ ඉසීම සිදුකර ඇත.

අම්පාර, ලාහුගල වනාන්තරයට ගුවන් මගින් බීජ 67,000 ක් ඉසින ලදී. අම්පාර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ එම්.එයි. 17 හෙලිකොප්ටරයකින් සාර්ථකව මෙම බිජ  ඉසීම සිදුකර ඇත.

වනාන්තරය තුළ ඉලක්කගත ස්ථානයන් වෙත ප්‍රවේශ විය හැක්කේ ගුවන් මගින් පමණි. මෙම වැඩසටහන් සඳහා බීජ ලබාදීම ශ්‍රී ලංකා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලදී. වියළි කලාපයට වඩාත් උචිත අරළු (Terminalia chebula), කෝන් (Schleichera oleosa), ගල් සියඹලා (Dialium ovoideum), සියඹලා (Tamarindus indica), ගොඩකිරිල්ල (Holoptelea integrifolia) සහ මයිල (Bauhinia racemosa) ඇතුළු දේශීය ශාඛ බීජ අඩංගු බීජ වැඩසටහන සඳහා යොදා ගැනිණි.