එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේදී මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වන්දි මුදල් පිරිනැමේ

නොවැම්බර් 06, 2019

මේ වසරේ ජනවාරි 25 වන දින මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) රාජකාරියේ යෙදී සිටියදී මියගිය ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක භටයන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අඟහරුවාදා දින (නොවැම්බර් 05) යුද හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදි. යුද හමුදා මාධ්‍යට අනුව, එම වන්දි මුදල් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා විසින් මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතීන් වෙත භාර දෙන ලදි.

මාලි රාජ්‍යයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී පිපිරිමකට හසුව ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සැරයන් එස්.එස්. විජේකුමාර ජිවිතක්‍ෂයට පත්විය.

දිවිපිදු මේජර් ජයවික්‍රම මියයන් විට අවිවාහක නිලධාරියකු බැවින් ඔහුට හිමි මුදල පියා සහ මව වෙත ලබා දෙන ලදි. එක්සත් ජාතීන්ගේ උපදෙස් හා වන්දි ගෙවීමේ රාමුවට අනුව දිවිපිදු සැරයන් විජේකුමාර වෙනුවෙන් ඔහුගේ මව, බිරිද සහ දියණියන් දෙදෙනා වෙත වන්දි මුදල් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් සහභාගී විය.