ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදා අයිතියට පත් කෙරේ

නොවැම්බර් 08, 2019

බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අද උදෑසන (නොවැම්බර් 08) පැවති උත්සවයක දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ද සහභාගි විය.

අක්කර 77 ක භූමි ප්‍රමාණයකින් යුත් නාවික හා ගුවන් හමුදා මූලස්ථානයන්ගෙන් ද සමන්විත වන නව ඒකාබද්ධ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ මහල් 10කින් සමන්විත වන නව යුද්ධ හමුදා මූලස්ථානය ගොඩනැගිලි අංක 6 සහ 7 හි පිහිටා ඇත.

නව යුද්ධ හමුදා මූලස්ථානය නවීන ආරක්ෂක පද්ධතියක්, කාර්යාල කාමර, හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ අංගන දෙකක්, නවාතැන් පහසුකම්, රථගාල, ආපන ශාලා සහ භෝජනාගාර, ජනක යන්ත්‍ර, ජල ටැංකි, පුස්තකාල ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත වේ. 4000කට අධික පිරිසකට කාර්යාල රාජකාරීන් ඉටු කල හැකි ශ්‍රී ලංකාවේ විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස සැලකෙන ඒකාබද්ධ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, නාවික හා ගුවන් හමුදා මූලස්ථානය එම ස්ථානයට රැගෙන ඒමට නියමිතය.

මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් යුද්ධ හමුදාධිපති ශවේන්ද්‍ර  සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර එතුමන් වෙත චාරිත්‍රානුකූල හමුදා ගෞරවාචාරය භට පිරිස් විසින් පිරිනමන ලදී.

නව යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය කිරීම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ  අතිගරු ජනාධිපතිතුමන් විසින් සිදුකරන ලදී. ප්‍රධාන දොරටුවෙහි පීත්ත පටිය කපා අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණය විවෘත කරන ලදී.

නව යුද්ධ හමුදා සංකීර්ණයේ යුද්ධ හමුදාධිපතිවරයාගේ කාර්යාලය ජනපති තුමන් විසින් විවෘත කරන ලද අතර ජනපතිතුමන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර කෙටි සාකච්ඡාවක්ද හමුදාධිපතිවරයාගේ නව කාර්යාලයේ දී පැවැත්විණි.

ඉන්පසු අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව “සේවාභිමානී පදක්කම” සහ “සේවා පදක්කම” පිරිනැමීම සිදු කරන ලදී. වර්ෂ 2009 න් පසු ගෙවී ගිය වසර 10ක නොකැළැල් සේවා කාලය පිළිබිඹු කරවමින් මෙම පදක්කම් පිළිගන්වන ලදී. මෙම පදක්කම් දෙක හිමි වනුයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් සේවකයින් පශ්චාත් යුද සමයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සිදු කල කාර්යයන් සහ සිදුකරන ලද කැපවීම උදෙසාය.

දිනයේ අවසන් අදියර ලෙස අතිගරු ජනාධිපතිතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව මූලස්ථාන පරිශ්‍රයේ පැල රෝපණය කරන ලදී.

අක්කර 77ක භූමි ප්‍රමාණයකින් යුත් නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සහ ගුවන් හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සතු ඉඩමක ඉදිකරන ලදී. නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය සඳහා යාබද පෞද්ගලික ඉඩම් කීපයක් ද මුදල් ගෙවා පවරාගෙන ඇත.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහභාගි වූහ.