මව් රෙජිමේන්තුවෙන් ආරක්‍ෂක ලේකම්තුමන්ට උපහාර

ජුලි 27, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (ජුලි 27) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ (SLLI) සිදු කල සංචාරයේදී මව් රෙජිමේන්තුවෙන් එතුමන් වෙත ආචාර පුද කරන ලදී.

රෙජිමේන්තු මූලස්ථානයට පැමිණි ලේකම්වරයා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු විසින් පිළිගනු ලැබීය.

ලේකම්තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී මුරහල පසු කර යෑමක් සහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිළයින් විසින් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත ගොස් මියගිය රණවිරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීය.

ආරක්‍ෂක ලේකම්වරයා කෙඩෙට් නිලධාරියකු ලෙස පුහුණුව ලබා විසිර යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත එක් වන ලදී. එතුමන්ගේ වසර 36 ක කීර්තිමත් සහ ගෞරවනීය යුද හමුදා සේවා කාලය තුල 2004 වර්ෂයේදී යුද්ධ හමුදාධිපතිධුරයට පත්වන තෙක්ම වැදගත් තනතුරු බොහොමයක් හොබවා ඇත. හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ කාලය තුළ ඔහු සිය රෙජිමේන්තුවේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු අධිපති සහ අවසාන වශයෙන් යුද්ධ හමුදාධිපතිධුරයට පත්වීමෙන් ලබා ගත් ජයග්‍රහණයන් පිළිබඳව රෙජිමේන්තුවද ආඩම්බරයට ලක් විය.

ආරක්‍ෂක ලේකම්තුමන්ගේ සංචාරය අතරතුර රෙජිමේන්තු බනිසැර නිවස්නයේදී තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී. මෙය ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ සුහද සංවාදයේ යෙදීමටද අවස්ථාවක් කර ගන්න ලදී.

එදින සවස ලේකම් තුමන් සෝනියා කොට්ටෙගොඩ මහත්මිය සමඟ නිලධාරී නිවස්නයේ සංවිධානය කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහය සදහා සහභාගී විය. මෙම අවස්ථාවට එක්ව සිටි රෙජිමේන්තුවේ විශ්‍රාමික හා සේවයේ යෙදී සිටින නිලධාරීන් සමඟ ලේකම්වරයා අදහස් හුවමාරු කර ගත්තේය.

පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ක්‍රිෂානි මුදලිගේ මැතිණිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ කලත්‍රයන් ද රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූහ.

තරුණ නිලධාරියෙකු ලෙස පාබල හමුදාවට එක්ව ආරක්‍ෂක ආයතන අතරින් ඉහළම ස්ථානයකට පැමිණි වීරයකුට පිරිනැමිය හැකි ඉහළම ගෞරවය එතුමන් හට පිරිනැමීය. එතුමන් සිය යුද හමුදා සේවා කාලය තුළ දැරිය යුතු සියළු තනතුරු දරා ඇති අතර එය යුද හමුදා නිලධාරියෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. රෙජිමේන්තු අධිපති ලෙස තම රෙජිමේන්තුවේ විශාල වෙනස්කම් සිදුකල අතර යුද්ධ හමුදාධිපතිධුරයට පත්වීමෙන් පසුව කාර්යක්ෂමතාව සහ පුද්ගල සුභසාධනය ඉහළ නංවාලීම සඳහා කටයුතු කරන ලදී.

වසර ගණනාවක් තිස්සේ තමන් රැස්කරගත් දැනුම, පුහුණුව සහ පළපුරුද්ද මත එතුමන් යුද්ධ හමුදාධිපති ලෙස ගන්නා ලද තීරණයන් දශක තුනක් තිස්සේ ජාතිය පීඩාවට පත් කළ පීඩාකාරී ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් අවසාන මානුෂීය මෙහෙයුම සඳහා බෙහෙවින් බලපාන ලදී.

ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වූ විගසම පාස්කු ඉරිදා සංහාරයෙන් පසුව රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලදී. රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දෙන ගැටලුවලට කල්පවත්නා විසඳුම් සෙවීම සඳහා එතුමන් විශේෂ උනන්දුවක් දැක්වීය. සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු ගත කළ කාලය තුළ ගොඩනඟා ගත් අත්දැකීම් සහ මිත්‍ර සබඳතා අනෙකුත් ජාතීන් සමඟ ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීමට ඉවහල් කර ගන්නා බවට සැකයක් නැත