ජනපති නවදිල්ලි නුවරට ළගා වෙයි

නොවැම්බර් 29, 2019

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා විය.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං (VK Singh) මහතා විසිනි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පිළිගැනීමේ උළෙල වර්ණවත් සංස්කෘතිකාංගයකින් ද අලංකාරවත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි ජනාධිපතිතුමා සිය පළමු විදේශ සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයකට එක්ව සිටී.

සිය සංචාරයේ දී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වේ.

එමෙන්ම ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප්‍රභූවරුන් ද මුණ ගැසෙනු ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපතිතුමාගේ ගරු උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක්ව සිටිති.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය