ආරක්‍ෂක අමාත්‍යංශයේදී 2019 නව අවුරුදු උදාව සමරයි

ජනවාරී 01, 2019

2019 නව වසර ආරම්භය සනිටුහන් කරමින් අද (ජන:01) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී චාම් උත්සවයක් පැවැත්විණි. ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

මහා සංඝයා වහන්සේලාගේ ආශිර්වාද පිරිත් සජ්ගායනා මධ්‍යයේ උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. ජාතික ධජය එසවීමෙන් පසු මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරණ ලදී. ඉන්අනතුරුව අමාත්‍යංශ කාර්යමණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාවෙහි දිවුරුම් දුන්හ. මෙම චාම් උත්සවය අවසානයේ සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම්) පී.ආර් රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති, හමුදා සම්බන්ධීකරණ නිලධාරි, අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන්, ජේෂ්ඨ නිලධාරීන් ඇතුළු අමාත්‍යංශ කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වූහ.