ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය සමරයි

දෙසැම්බර් 09, 2019

දේශයේ පළමු ආරක්ෂක වළල්ල , ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන අභිමානවත් සංවත්සරය අද (දෙසැම්බර් 09) වන දින සමරයි. සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම හා නායකත්වය මත ආගමික, සමාජ සුභසාධන හා නාවික සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් පසුගිය දින කිහිපය තුළ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

1937 වසරේ දී ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව එය රාජකීය නාවික හමුදාව යටතේ, ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව 1950 දෙසැම්බර් 09 වන දින පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව බවට 1972 මැයි 22 වන දින පත්විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීමේ  මානුෂිය මෙහෙයුමේදී රටේ සාමය සහ සමගිය ස්ථාපිත කිරීම සඳහා අති විශාල කාර්යභාරයක් ඉටු කළේය. දිවයින ආරක්ෂා කිරීමේ පළමු ආරක්‍ෂක වළල්ල වන ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ සමුද්‍රීය කලාප සහ සම්පත් ආරක්ෂා කිරීමෙහිලා මහගු කාර්යභාරයක් ඉටු කරයි. මීට අමතරව, නාවික හමුදාව ස්වාභාවික විපත් සහ හදිසි අවස්ථාවන්හිදී ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කරයි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික නාවික මාර්ගයක උපායමාර්ගිකව පිහිටා ඇති හෙයින් ජාතියේ සමුද්‍රීය හැකියාවන් මෙහෙයවීමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව ද පෙරමුණ ගෙන සිටී. ගාලු කතිකාවත සමුද්‍රීය සමුළුව මගින් අනාගත ලෝකය තුළ සමුද්‍රය සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සහ ජාතීන් අතර ඇති සම්බන්ධතාවය තවත් වැඩි දියුණු කරනු ලබයි.