ආරක්ෂක ලේකම් ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

දෙසැම්බර් 09, 2019

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 09) දින බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

නව යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයා වෙත කඳවුරු මුරය පසුකර යාමක් සහ සම්මාන ආචාර පෙලපාලියක් පිළිගන්වා ගෞරවාචාර පුදකරන ලද අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ලේකම්තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.  

මෙම සංචාරය ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු ආරක්ෂක ලේකම්තුමන් යුද හමුදා මූලස්ථානයේ සිදු කරන ලද පළමු නිල සංචාරයයි.

එතුමන් විසින් යුද හමුදා මූලස්ථාන අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තබන ලදි.

එම අවස්ථාවේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ඉන් පසුව ලේකම්තුමන් විසින් ආරක්ෂක සේවා මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතිය පරීක්ෂා කරන ලදි. එතුමන් විසින් සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු වල ප්‍රගතිය විමසා ව්‍යාපෘතිය නිම කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

අක්කර 77 ක භූමි ප්‍රමාණයකින් යුත් නාවික හා ගුවන් හමුදා මූලස්ථානයන්ගෙන් ද සමන්විත වන නව ඒකාබද්ධ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ මහල් 10කින් සමන්විත වන නව යුද්ධ හමුදා මූලස්ථානය ගොඩනැගිලි අංක 6 සහ 7 හි පිහිටා ඇත.නව යුද්ධ හමුදා මූලස්ථානය නවීන ආරක්ෂක පද්ධතියක්, කාර්යාල කාමර, හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ අංගන දෙකක්, නවාතැන් පහසුකම්, රථගාල, ආපන ශාලා සහ භෝජනාගාර, ජනක යන්ත්‍ර, ජල ටැංකි, පුස්තකාල ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත වේ. 4000කට අධික පිරිසකට කාර්යාල රාජකාරීන් ඉටු කල හැකි ශ්‍රී ලංකාවේ විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස සැලකෙන ඒකාබද්ධ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, නාවික හා ගුවන් හමුදා මූලස්ථානය එම ස්ථානයට රැගෙන ඒමට නියමිතය.