ජපාන හරුසාමේ නෞකාව දින තුනක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

දෙසැම්බර් 10, 2019

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් "DD 102 හරුසාමේ" නෞකාව දින තුනක සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 10) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ත්‍රිකුණාමල වරායට පැමිණි ජපාන නාවික හමුදා නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.  

දිගින් මීටර් 151 ක් හා ටොන් 4550 ක ධාරිතාවයෙන් යුත් කාර්ය මණ්ඩලයේ 165 දෙනෙකුගෙන් යුත් නෞකාවේ අණදෙන නිලධාරි කොමාන්ඩර් ඔෂිමා ටෙරුහිසාය.  

ජපාන නාවික නෞකාවේ අණදෙන නිලධාරි ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සංජීව ඩයස් මහතා හමුවූ අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක 1 වන ලුතිනන් ගකු ෆුකව්රා ද සහභාගී විය. එම අවස්ථාවේදී ද්වීපාර්ශවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිලිබඳව සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.

සංචාරක ජපන් නෞකාව දිවයිනේ රැදී සිටින කාලය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගීවීමට නියමිත අතර නෞකාව බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 12) මෙරටින් පිටත්වීමට නියමිතය.