බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂක ලෙස වැඩ භාර ගනී

දෙසැම්බර් 18, 2019

•    ඔහු  17 වන ජනමාධ්‍ය අධ්‍යක්ෂක සහ නව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ භාර ගත්තේය.

බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ RWP RSP psc MA (IR) අද (දෙසැම්බර් 03) දින කොළඹ 03, කොල්ලුපිටිය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂක ලෙස වැඩ භාර ගත්තේය.

ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ වැඩ භාර ගැනීම සිදුවිය.

මෙම ධුරයට පත්වීමට පෙර ඔහු දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල (NDU) පාඨමාලාව හැදෑරිය. බ්‍රිගේඩියර් වික්‍රමසිංහ 1989 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට බැදී මේ වන විට වසර 30 කට වඩා වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති අතර එම කාලය තුළ යුද හමුදාවේ අණ හා මාණ්ඩලික පත්වීම් ගණනාවක් දරා ඇත.

ඉන්දියානු යුද හමුදා විද්‍යාපීඨයේ (IMA) (නිත්‍ය පාඨමාලා අංක 87) සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 31 යටතේ සිය මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු දෙවන ලුතිතන්වරයකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව වෙත අනියුක්ත කරන ලදී.

ඔහු වර්ෂ 2007 - 2008 කාලය තුළ හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්හි මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ද එක්සත් ජාතීන්ගේ සිවිල් ආරක්ෂක අංශ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළේය.

රට ආරක්ෂා කිරීම සඳහා වූ කැපවීම සහ යුද භුමියේ සිදුකලාවූ නිර්භීත ක්‍රියාවන් අගයමින් මෙම නිළධාරි රණ වික්‍රම පදක්කම (RWP), රණ ශූර පදක්කම (RSP), යන පදක්කම් වලින් දෙවරක් පිදුම් ලබා ඇත. තවද ඔහු යාපනය 511 බළසේනාධිපති ලෙසද සේවය කර ඇත.

අඟහරුවාදා (දෙසැම්බර් 17) ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී ඔහු 17 වන ජනමාධ්‍ය අධ්‍යක්ෂක සහ නව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාව සඳහා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු, ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂිකා ශානිකා ශ්‍රියානන්ද, මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ, කර්නල් ජනමාධ්‍ය විජිත හෙට්ටිආරච්චි, මාධ්‍ය කේන්ද්‍රයේ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී විය.