ඉන්දියානු නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවෙයි

දෙසැම්බර් 19, 2019

ඉන්දියානු නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං අද (දෙසැම්බර් 19) දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම හමුවේදී ඉන්දීය නාවික හමුදාධිපති සහ ආරක්ෂක ලේකම් අතර දෙරට මුහුදු තීරයේ ආරක්ෂක ක්‍රියාමාර්ගයන් සම්බන්ධීකරණය කිරීම, පුහුණු කිරීම් ,  මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති විරෝධී ජාවාරම් සීමා කිරීම, සමුද්‍රීය කරුණු, තොරතුරු හුවමාරු කර ගැනීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු පිලිබදව  සාකච්ඡාවක් පැවැත්විණි.

මෙරට ත්‍රස්තවාදී යුද සමයේ එවකට පැවති රජය ත්‍රස්තවාදය පරාජය කිරීමට සමත් වූයේ කෙසේද යන්න සහ මෙරටින් ත්‍රස්තවාදී උවදුර තුරන් කිරීමට ගත් පියවර පිළිබඳව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික)  කමල් ගුණරත්න  මහතා විසින් අද්මිරාල් කරම්බීර් සිං වෙත කෙටි විස්තර කිරීමක් සිදු කළේය.

අසල්වැසි රටවල් දෙක සදහාම පොදු තර්ජනයන් ඇති බැවින් දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවයද ආරක්ෂක ලේකම්තුමන් පෙන්වා දුන්නේය.

සමුද්‍රීය ගැටළු විසඳීම සඳහා දෙරට අතර මනා සහයෝගීතාවය හා ඒ සදහා මැදිහත්වීමේ අවශ්‍යතාවය ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

සුහද සාකච්ඡාව අවසානයේ ආරක්ෂක ලේකම් සහ අද්මිරාල් කරම්බීර් සිං විසින් මෙම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් සමරු සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.

සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සෙනසුරාදා දින පැවැත්විමට නියමිත පාඨමාලා අංක 60 හි මධ්‍ය නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන්ද සහභාගී වීමට නියමිතව ඇත.

ඉන්දීය නාවික හමුදාධිපතිතුමා දිවයිනේ රැදී සිටින කාලය තුළ  අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට ද නියමිතව ඇත.