ආරක්ෂක ලේකම් විශ්‍රාමික රණවිරුවන් සඳහා වන සුභසාධන වැඩසටහන් සමාලෝචනය කරයි

දෙසැම්බර් 31, 2019

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා  සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ආරම්භ කර ඇති සුභසාධන වැඩ සටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා තවත් සාකච්ඡා වටයක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (දෙසැම්බර් 30) සවස ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විශේෂ උනන්දුවක් දැක්වයි.

ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද විවිධ වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කරන ලද අතර V4U - අන්තර්ජාලගත මෘදුකාංගයක් සහ දත්ත ගබඩාවක් හඳුන්වාදීම සාකච්ඡාවේදී සිදු කරන ලදී.

අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක හමුදා නිලධාරීන් සහ සහායක රාජ්‍ය ආයතනවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

සන්නද්ධ හමුදා සාමාජිකයින්ට අවුරුදු 22 ක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසුව විශ්‍රාම ගත හැකි වන අතර ඔවුන්ගෙන් සියයට 70% ක් පමණ විශ්‍රාම යන විට වයස අවුරුදු 42-45 ත් අතර වූ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශවලින් පැමිණි ත්‍රිවිධ හමුදාවේ රාජකාරී කල අය වෙති.

ඔවුන් නැවත සමාජයට එක්වන්නේ වසර ගණනාවක් ආරක්ෂක හමුදාවන්හි සේවය කිරීමෙන් ලත් ජාතික සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා තවදුරටත් උපයෝගී කර ගත හැකි දැනුම හා පළපුරුද්ද සහිතවයි.

ඔවුන් විශ්‍රාම යන කාලය වන විටත් ඔවුන් වයසින් තරුණ මෙන්ම ඔවුන්ගේ ඵලදායිතාව ඒ වන විටත් ඉහළ මට්ටමක පවතින බැවින්, ඔවුන්ගේ සේවාවන් සහ විශේෂඥතාව ලබා ගෙන අදාළ ක්ෂේත්‍රවල ඔවුන් සේවයේ යෙදවීම මගින් ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පමණක් නොව ඔවුන්ගේ ආදායම ද ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම බහුවිධ ව්‍යාපෘතිය මඟින් විශ්‍රාමික රණවිරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, ඔවුන්ව ජාතික සංවර්ධන ක්‍රියාවලියට ක්‍රියාකාරීව සම්බන්ධ කිරීමටත් හැකි වනු ඇත.

කෘෂිකර්මාන්තය යනු ඔවුන්ගේ සේවාවන් සක්‍රීයව යෙදවිය හැකි ප්‍රධාන කේන්ද්‍රස්ථානයකි. ප්‍රතිලාභීන් සඳහා කෘෂිකාර්මික ක්‍රම සහ විශේෂිත වූ ශිල්පක්‍රම පිළිබඳව නිසි පුහුණුවක් හා දැනුවත් කිරීමක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානවල වැඩමුළු සහ පුහුණු වැඩසටහන් පවත්වනු ලැබේ. මීමැසි පාලනය ජනප්‍රිය කිරීම සඳහා මීමැස්සන් ද සපයනු ලැබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදනය සඳහා වන ජාතික වැඩසටහන්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, මහවැලි හා පරිසර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතියට ආධාර සපයන රාජ්‍ය ආයතනයන් වේ.