ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය

ජනවාරී 01, 2020

ඡායාරූප අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය

නව වසර උදාවූයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප‍්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දකිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිවය.

අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙනි. දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබේ. ඉන් අප ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව මාගේ දැඩි විශ්වාසය යි.  

එසේම විනයගරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්‍ෂිත රටක් ජනතාවගේ ප‍්‍රමුඛ අපේක්‍ෂාව බව ද මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල්ඵල දරනුයේ එවන් සමාජයකය. අප වැඩිහිටියන් ලෙස, ලැබූ නව වසරේ එකී ඉලක්ක කරා ළඟාවීමට දැඩිව අත්වැල් බැඳගත යුතුය.  

නව රජය රටට ලෙන්ගතු ජනතාවගේ එකමුතුවේ ජයග‍්‍රහණයකි. ජනතා අපේක්‍ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රට තුළ අප ඉඩක් තබන්නේ නැත. ඒ හුදෙක්, සැමට එකාවන්ව සතුටින් ජීවත් විය හැකි යහපත් පරිසරයක් නිර්මාණය කිරීම පිණිසය.  

නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලූත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසය යි, ප‍්‍රාර්ථනය යි.  

අපේ සමස්ත ජනතාවටත්, අප දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුමවන නව වසරක් වේවා යි මම ඉතසිතින් ප‍්‍රාර්ථනා කරමි.  

ගෝඨාභය රාජපක්ෂ

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය