ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් අනතුර : කරුණු ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රසපරීක්ෂකට නියෝග කරයි

ජනවාරී 03, 2020

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ඔවුන් සොයාගත් කරුණු  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රසපරීක්ෂක, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

චීනයේ  නිෂ්පාදිත මෙම Y12  වර්ගයේ සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානය අද පෙරවරු 9:15 ට අයිස්පීල්ල, තම්බපීල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක්වන අවස්ථාවේ  වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන්ගතව ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක යෙදී සිට ඇත.

එම ස්ථානයට පැමිණි රජයේ විශ්ලේෂක, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ බණ්ඩාරවෙල පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ වන විටත් මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් සිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

හපුතලේ  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. දයාරත්න මහතා පවසන පරිදි අනතුර සිදුවන අවස්ථාවේ යානය සමඟ පැවැත්වූ සන්නිවේදන වාර්තාද මෙම අනතුර සමබන්ධව සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොදා ගනු ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානය අසල සිටි කාන්තාවක්ද හපුතලේ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇත.

අනතුර සිදුවූ ස්ථානය පරීක්ෂා කළ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශ භාර  නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා මෙම අනතුර සමබන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස ප්‍රදේශ භාර පොලිස් නිලධාරීන්ට  නියෝග කර තිබේ.

හපුතලේ  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. දයාරත්න මහතා පවසන පරිදි මෙම ගුවන් අනතුරෙන් මිය ගොස් ඇති අයවලුන් වන්නේ ගුවන් හමුදා ගුවන් නියමුවන් වන ස්කොඩ්රන් ලීඩර් ඩබ්ලිව්.ඒ.එම්.බී.එන්.බී  වීබැද්ද  (අවු 35), ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කේ.එම්.ඩී.එල්.කුලතුංග (අවු 28) සහ ගුවන් භටයින් වන සැරයන් ඩී.ඩබ්ලිව්.ආර්.වයි  කුමාර (අවු 30) සහ නායක ගුවන් භට එන්.එල්.ඩී. හෙට්ටියාරච්චි (අවු 37) යන අයයි.

මේ අතර, ගුවන් යානය අනතුරට පත්වූ වහාම තම විමර්ශකයින් එම ස්ථානයට යවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර තිබේ.

 

සබැඳි පුවත් :- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් හපුතලේදී අනතුරට ලක් වේ