නොසැලකිල්ල සහ නොදැනුවත්කම හේතුවෙන් ජාතික ආරක්ෂාව නොසලකා හරින ලදි - ආරක්ෂක ලේකම්

ජනවාරී 13, 2020

පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාවේ නාමයෙන් ජාතික ආරක්ෂාව සම්පුර්ණයෙන්ම නොසළකා හැරි  බවත් නමුත් වර්තමාන රජය සුරක්ෂිත හා සාමකාමී ජාතියක් නිර්මාණය කර ඇති බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසිය.  

පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ එවකට වගකිවයුතු බලධාරීන් ඔවුන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසා ජාතික ආරක්ෂාව මුළුමනින්ම නොසලකා හැර ඇති බවයි.  

“ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඔවුන් වෙත පැවරී තිබු වගකීම්වල බරපතලකම පිළිබදව ඔවුන් දැන සිටියේ නම් ප්‍රතිඵලදායී ලෙස ක්‍රියා කරනු ඇත” මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.  

අද දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිදු කල සිය පළමු සංචාරයේ දී නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් ඔහු කියා සිටියේ රටේ ජාතික ආරක්ෂාව අස්ථාවර කිරීම සඳහා වන ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා ආරක්ෂක හමුදාවන් දැඩි සුදානමෙන්  සිටින බවයි.

“සන්නද්ද අරගලයක් මගින් එල්ටීටීඊයට අත් කරගත නොහැකි වූ දේ ඉටු කර ගැනීම සඳහා එල්ටීටීඊ සංවිධානයට යළි පනපෙවීම කිරීමට දෙමළ ඩයස්පෝරාව උත්සාහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව රජයට එරෙහි බලපෑම් සිදු කිරීමෙනි” ඔහු පැවසිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සිදුකිරීම වෙනුවෙන්  තම උපරිම සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දෙමින් මේජර් ජෙනරාල් ගුණරත්න ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ රට  ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂාව පවත්වා ගැනීමට තමා හට සහයෝගය ලබා දෙන ලෙසයි.

“ඔබ සැම සිහියේ තබාගන්න, මා සැමවිටම ඔබ සැවොම රැකබලා ගැනීමට ඔබලා වෙනුවෙන් කැපවී සිටින අතරම මාගේ උපරිමය සේවය ඔබ වෙනුවෙන් ලබා දෙමි. මේ ලෝකයේ උදාරතම සේවාව වන හමුදාව වෙනුවෙන් ඔබ ඔබේ උපරිම සේවය ලබාදෙන්න” සාමය කඩාකප්පල් කරන අනාගත තර්ජන වලින් රට සහ මහජනතාව ආරක්ෂා කිරීම සඳහා තමාට විශාල වගකීමක් ඇති බවද ඔහු පැවසීය.

යුද්ධය පැවති සමයේ මාධ්‍ය ආවරණය අවමවීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිසි ගෞරවය හිමි නොවූවත්, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දෙන ලද ඉමහත් දායකත්වය ප්‍රශංසනීය බව ඔහු පැවසීය.

“රටේ අනාගතය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලුම ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට ජාතිය ණයගැතියි,” මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, අධ්‍යක්ෂ ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාෂල් රවී ජයසිංහ, ජේෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසුනිලයින් සහභාගී වුහ.