සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

ජනවාරී 14, 2020

නිවාඩු නොමැතිව සේවය අතහැරගොස් සිටින සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සතියක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙහිදී ඔවුන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට හෝ මවු රට වෙනුවෙන් තවදුරටත් සේවයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය මත පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති අතර, එය 2020 පෙබරවාරි 5 වන දින සිට දින හතක කාලයක් බලාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද (ජනවාරි14) දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

විවිධ තත්වයන් මත විවිධ දුෂ්කරතාවන්ට මුහුණදී රට ජාතිය වෙනුවෙන් සේවයකල නමුත්, නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය නොකර සේවාවන් අතහැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යලි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
 
මෙම පොදු සමා කාලය අදාල වන්නේ 2019 සැප්තැම්බර් 30 දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල (AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණි.