වැඩි වන සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති

ජනවාරී 22, 2020
  • නීති කෙටුම්පත්කරු විසින් යෝජිත සයිබර් ආරක්‍ෂණ පනත සකස් කරමින් සිටී

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, වැඩි වන සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජාතික සයිබර් ආරක්‍ෂණ උපායමාර්ගය යටතේ නව නීති ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් යෝජිත සයිබර් ආරක්ෂණ පනත කෙටුම්පත් සකස් කර අවසන් කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදයේ (SLCERT) නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එමගින් සයිබර් ආරක්ෂණ තර්ජන හා සිදුවීම් කාර්යක්ෂම ලෙස වැළැක්වීම සහ කළමනාකරණය කිරීම මෙන්ම  තීරණාත්මක තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පුළුල් රාමුවක් ස්ථාපිත කරනු ඇත.

අද (22) බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදයේ (SLCERT) නිලධාරීන් පැවසුවේ අවසාන නීතිමය පැහැදිලි කිරීම් සඳහා කෙටුම්පත නීති කෙටුම්පත්කරුට භාර දුන් බවයි.

මෙම අපරාධවලට ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, පළිගැනීම්, කාමුක දර්ශන, දේපළවලට එරෙහි අපරාධ, අනවසරයෙන් පරිගණක වලට ඇතුළුවීම සහ බුද්ධිමය දේපල සොරකම් කිරීම මෙන්ම සයිබර් ත්‍රස්තවාදය, වෙබ් අඩවි තුලට අනවසරයෙන් ඇතුළුවීම, අනවසර තොරතුරු සැකසීම සහ වෙනත් සංවිධානවලට එරෙහිව සයිබර් අපරාධ, සංවේදී මූල්‍ය දත්ත වලට අනවසරයෙන් ඇතුළු වීම වැනි රජයට සහ වෙනත් සංවිධානවලට එරෙහි සයිබර් අපරාධ ඇතුළත් වේ.

ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් වෛරී කතා පැතිරීම වැළැක්වීම සඳහා නව යාන්ත්‍රණය හඳුන්වා දීමේ වැදගත්කම මේජර් ජෙනරාල් ගුණරත්න මෙහිදී අවධාරණය කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදය (SLCERT) සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටළු සඳහා ජාතික මට්ටමේ කේන්ද්‍ර ස්ථානයක් ලෙස ක්‍රියා කරන ආයතනයකි.

නව යාන්ත්‍රණය යටතේ ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සිය (DIPA) රටේ සියලුම සයිබර් ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ඉහළම ආයතනය ලෙස පිහිටුවනු ඇත. මෙම ආයතනයට ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියම කෙරෙනු  ඇත.

පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහි සයිබර් අපරාධ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා නිසි නීතිමය හා ලුහුබැඳීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට නොමැති බැවින් එම අපරාධ සීග්‍රයෙන් ඉහළ යන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදයේ  (SLCERT) නිලධාරීන් defence.lk වෙත පැවසීය.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ධනපාල, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදය ආයතනයේ (SLCERT) ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස්,  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදය ආයතනයේ (SLCERT) අධ්‍යක්ෂ ප්‍රතිපත්ති ආචාර්ය කණිෂ්ක කරුණාසේන, මෙහෙයුම් ප්‍රධානී රෝහණ පල්ලියගුරු සහ කමිටු සාමාජික මනෝරි උනම්බුව යන අයද මෙම අවස්ථාවට සහභාගී වූහ.