මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට කැපවන ලෙස ආරක්ෂක ලේකම් පොලිසියෙන් ඉල්ලයි

ජනවාරී 23, 2020

ඵලදායී උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ පාලනය කිරීමට කැපවන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පොලිසියෙන් ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයන් සහ මනා සැලසුම් තුළින් පොලීසිය වඩාත් ක්‍රියාකාරී විය යුතු බව ඔහු පැවසීය.

අද (22) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තමා හමුවූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හට සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා විශේෂ උපාය මාර්ග දියත් කිරීමේ වැදගත්කම මෙන්ම, නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම, වගුරු බිම් පිරවීම, කප්පම් ගැනීම, සංවිධානාත්මක කණ්ඩායම් විසින් පුද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, නීති විරෝධී වැලි ප්‍රවාහනය, රථවාහන තදබදය සහ කාන්තාවන්ට එරෙහි ලිංගික හිරිහැරවලට සම්බන්ධ අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධාරණය කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කළේය.

රටේ අනාගතය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්ම පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහාය ඇතිව සුරක්ෂිත ජාතියක් සහ නීතිගරුක සමාජයක් ජනාධිපතිවරයා අපේක්ෂා කරන  බවයි.

“එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ සංවිධානාත්මක නීති විරෝධී ක්‍රියා පාලනය කිරීමට පොලිසියට සහාය අවශ්‍ය නම්, අතිරේක සහාය ලබා දීම සඳහා විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යෙදවිය හැකියි” යනුවෙන් ඔහු සහතික විය.

මේ අතර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න පොලිසියෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ කීර්තිනාමය පවත්වා ගනිමින් ජනතාවගේ අපේක්ෂාව වන රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරි නිසි පරිදි  ඉටු කරන ලෙසය.

“ප්‍රජාවේ කොටසකට පොලිසිය ගැන වෙනස් මතයක් තිබුණද, බොහෝ අය තවමත් පොලිසිය සලකන්නේ උදාර සේවාවක් ලෙසය. පොලිසිය පිළිබඳ මහජන මතය පිළිබිඹු වන්නේ ඔබ ඔබේ රාජකාරි ඉටු කරන ආකාරය අනුව යි'' ඔහු පැවසීය.

වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අමතමින්,පොලිසියේ වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පොලිස් සේවය සංවර්ධනය කළ යුතු බව ඔහු පැවසූ අතර, ත්‍රිවිධ හමුදාවට සමානව පොලීසියට ද නිසි පිළිගැනීමක් ලබා දෙන බවට සහතික විය.

“එය මගේ විෂය පථයට අයත් වන අතර, ඔබේ රාජකාරිය ගෞරවාන්විතව ඉටු කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මම උදව් කරමි” යනුවෙන් ඔහු පැවසීය.

පොලිස් රෝහල සංවර්ධනය කිරීමටත්, එය වැඩිදියුණු කිරීම සඳහා වෙනත් අවශ්‍යතා සැපයීමටත් මේජර් ජෙනරාල් ගුණරත්න සහතික විය.

සිංගප්පූරුවේ ජනප්‍රිය සටන් පාඨය, ‘රටට තව ටිකක් දෙන්න’ බව සිහිපත් කරමින් ඔහු කියා සිටියේ එය සිංගප්පූරුවේ වේගවත් සංවර්ධනය සඳහා ඉවහල් වූ පාඨය බවයි.

“එබැවින්, කැපවීමෙන් කටයුතු කර අපේ රටට නැවත නැඟිටීමට තව ටිකක් වැඩියෙන් ඔබේ සේවය ලබා දෙන්න” ඔහු සාකච්ඡාවට සහභාගී වූ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.