පොලිස් රෝහලේ රුධිර කාන්දු පෙරන පහසුකම් වැඩිදියුණු කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් පියවර

ජනවාරී 24, 2020

දිගු කලක් තිස්සේ පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නාරහේන්පිට පොලිස් රෝහලට අමතර රුධිර කාන්දු පෙරන පහසුකම් සහ ප්‍රමාණවත් වෛද්‍ය සහ සුළු කාර්ය මණ්ඩලයක් ලබාදෙනු ඇත.  

පොලිස්‌ රෝහල වැඩිදියුණු කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඊයේ (23) සිය සංචාරයේ දී කියා සිටි අතර ආයතනයක ඉහළ ඵලදායිතාවක් අත්කර ගත හැක්කේ පහල මට්ටමේ සේවා දායකයින් සතුටින් සිටින විට පමණක් බවද පැවසීය.   

හමුදාවේදී මෙය චිත්ත ධෛර්යය ලෙස හැඳින්වේ. ඉහළ චිත්ත ධෛර්යය ඵලදායිතාවය වැඩි කරයි. කණ්ඩායම් හැඟීම, පුහුණුව හා පුද්ගල කුසලතා වැඩිදියුණු කිරීම තුළින් චිත්ත ධෛර්යය ඉහළ නැංවිය හැකි නමුත් සියල්ලටම වඩා ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුය. ”යුද ජයග්‍රහණයේ රහස වන්නේ ද පහළ මට්ටමේ සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය බව ඔහු පැවසීය.  

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ වර්ථමානයේ පරිපාලනය වන කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ මෑත කාලීන වැඩිදියුණු කිරීම් ගැන සඳහන් කරමින්, ඔහු කියා සිටියේ පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ගැනීමට අතිරේක පහසුකම් ද ලබා දී ඇති බවයි.  

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ පසුගිය පාලන සමය තුළ අඩු අවධානයක් යොමු කළ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය රෝහල මේ වන විට පළපුරුදු  විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ නවීන වෛද්‍ය පහසුකම් ද සහිතව වැඩි දියුණු කර ඇති බවයි.  

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය රෝහලට සමාන ප්‍රමිතියෙන් යුක්තව පොලිස් රෝහල ද උසස් කරන බව ඔහු තවදුරටත් පැවසීය.  

රටට සාමය උදාකරලීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය ලබාදුන් දායකත්වය අගය කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ යුද සමයේදී රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම පිළිබඳව හමුදාව පමණක් නොව මුළු රටම පොලීසියට කෘතවේදී වන බවයි.  

නීතිගරුක සමාජයක් සහ විනය ගරුක රටක් ස්ථාපිත කිරිමේ උතුම් මෙහෙවරෙහි ප්‍රධාන කොටස් කරුවා පොලීසිය බව අවධාරණය කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ අවශ්‍ය විටෙක පොලිසියට සහාය වීම සඳහා හමුදාව සැමවිටම සිටින බවයි.  

“රුධිර කාන්දු පෙරන පහසුකම් සහිත ඒකකයක හා වෛද්‍ය සහ සුළු කාර්යය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම අත්‍යවශ්‍ය කරුණක් බව මා දකිනවා, කාන්දු පෙරන උපකරණ ප්‍රමාදයකින් තොරව අවශ්‍ය තැන්වලන් නිදහස් කර ලබාදීමට මා පොරොන්දු වෙනවා” යැයි රෝහලේ වාට්ටු සහ වෙනත් අංශවල නිරීක්‍ෂණ සංචාරයෙන් පසු ආරක්‍ෂක ලේකම් වරයා පැවසීය.   

වැඩබලන පොලිස්පති සි ඩි වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති සුභසාධක සංජීව ධර්මරත්න, පොලිස් රෝහල් අධ්‍යක්‍ෂ එස්එස්පී චමික ප්‍රේමසිරි, වෛද්‍යවරුන් හෙදියන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.