මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සදහා ශ්‍රී ලංකාවට සහාය දෙන බවට පාකිස්ථානය පොරොන්දු වෙයි

ජනවාරී 27, 2020

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩලීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට ඊයේ පොරොන්දු වී ඇත.

පාකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි (Zafar Mahmood Abbasi) මහතා අද (ජනවාරි 27) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩලීම වෙනුවෙන් රජය ගන්නා උත්සාහයට පාකිස්ථානයේ සහාය ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීම සඳහා තම රටේ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දෙමින් අද්මිරාල් අබ්බාසි පවසා  සිටියේ තොරතුරු හුවමාරුව සහ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කිරීම සඳහා දෙරට අතර පවත්නා සහයෝගීතාව තවදුරටත් වැඩි කළ යුතු බවයි.

 ‘ශ්‍රී ලංකා නාවික හමුදාවේ හවර්ක්‍රාෆ්ට් යාත්‍රාව (hovercraft) අලුත්වැඩියා කිරීමට සහ යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාලයේ පුස්තකාලය සංවර්ධනය කිරීමට පාකිස්ථානය සහාය වනු ඇත.’ අද්මිරාල් අබ්බාසි පැවසීය.

ශ්‍රී ලංකාවට පාකිස්ථානය අඛණ්ඩව ලබා දෙන සහයෝගයට කෘතඥතාවය පළ කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ දෙරට අතර හමුදාමය සබඳතා ශක්තිමත් කිරීම සඳහා අනාගතයේදී පාකිස්ථානය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ආරාධනයක් මත අද්මිරාල් මහමුද් සිය නිල සංචාරය ආරම්භ කරමින් පසුගිය සෙනසුරාදා (ජනවාරි 25 )දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම අවස්ථාව සිහිවීම වස් මේජර් ජෙනරාල් ගුණරත්න සහ අද්මිරාල් අබ්බාසි අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.