ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රු. මිලියන 163.4 ක් වටිනා වී කිලෝ ග්රෑම් මිලියන 3.2 ක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත සහාය ලබා දේ

පෙබරවාරි 11, 2020
  • සහල් මාෆියාව බිඳ දැමීම සඳහා හමුදාව වී මිලදී ගැනීම සදහා අවශ්‍ය  පහසුකම් සපයයි
  • ගොවීන්ට සාධාරණ මිලක් ලබා දෙයි
  • වැඩිම වී මිලදී ගැනීම නැගෙනහිර පළාතෙන්
  • රජයේ ඉලක්කය සමස්ත ජාතික වී නිෂ්පාදනයෙන් 10% ක් මිලදී ගැනීමයි  

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගිය සති දෙක තුළදී රුපියල්  163,430,000 ක් වටිනා වී කිලෝ ග්රෑම් 3,268,600 ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත අවශ්‍ය පහසුකම් සපයා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ  හමුදාව විසින් ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සහ සහල් වෙළඳාම්  මාෆියාව බිඳ දැමීම සඳහා වී මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පහසුකම් සැලසීමේ වැඩසටහන තුලින් වී අලෙවි මණ්ඩලය විසින් ගොවීයාගෙන් සෘජුවම වී මිලදී ගැනීම සිදු කරයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන පරිදි දිවයින පුරා ඇති ආරක්ෂක සේනා  මූලස්ථානයන්ගේ සහාය ඇතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබේ.

වැඩිම වී මිලදී ගැනීම ලෙස වී කිලෝග්රෑම්  1,888,950 ක්  නැගෙනහිර පලාත් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති අතර එය  නැගෙනහිර ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහාය මත සිදුකර තිබේ. මීට අමතරව වී කිලෝ ග්රෑම් 870,350 ක් වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහාය ඇතිව වවුනියාවෙන්ද ඉතිරි වී කිලෝග්රෑම් 509,350 ක  ප්‍රමාණය බස්නාහිර, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයන්ට අයිති ප්‍රදේශ වලින්ද මිලදී ගෙන ඇත.

මිලදී ගත් මුළු වී තොග අතර, ‘කීරි සම්බා’ කිලෝග්රෑම් 1,196,950 ක් සහ ‘සුදු නාඩු’ කිලෝග්රෑම් 1,436,000 ක් වන අතර මේ වන විට මෙය වී අලෙවි මණ්ඩලය  විසින් මෙතෙක් මිලදී ගත් වැඩිම වී ප්‍රභේද මිලදී ගැනීම ලෙසද වාර්තා වී ඇත.

මෙම වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින්  යුද හමුදා සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනාරච්චි පත් කර ඇත.

ශ්‍රී ලංකා  යුද්ධ හමුදාව විසින් වී අලෙවි මණ්ඩලයට අයත් පාවිච්චි කළ නොහැකි තත්වයේ පවතින ගබඩාවන් 38 ක් අලුත්වැඩියා කර ඇති බවද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ defence.lk වෙත පැවසීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම  වී මිල දී ගැනීම සඳහා මැදිහත් වීම සහ මෙම  වැඩසටහන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම තුලින් ගොවීන් හට තම වී සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමටත්, පශ්චාත් අස්වනු නෙළීමේ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමටත් හැකිවන බවත්  වී අලෙවි මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් පාලිත බණ්ඩාර මහතා පැවසීය.

 “පසුගිය වසරේ ගොවීන්ට නාඩු කිලෝවක් සඳහා රු. 37 ක් සහ සම්බා කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 41 ක මිලක් ලැබුන අතර  මෙම වැඩසටහන යටතේ ගොවීන්ට සෑම වී කිලෝවක් සඳහාම  රු. 50 ක සාධාරණ මිලක් ලබා දෙනවා” ඔහු පැවසීය.

බණ්ඩාර මහතා පවසන පරිදි , රජයේ ඉලක්කය වන්නේ සමස්ත නිෂ්පාදිතයෙන් 10% ක් මිලදී ගැනීමයි, එය මුළු ජාතික නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 300,000 ක ප්‍රමාණයකි.