ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා ඊශ්‍රායලය සහාය ලබා දීමට සුදානම්

පෙබරවාරි 13, 2020
  • ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සහ සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීමට තාක්ෂණික සහය ලබා දීමට ඊශ්‍රායලය සුදානම්ව  සිටින බව පවසයි
  • නවීන වාරිමාර්ග තාක්‍ෂණයන් සහ ගොවිතැන සඳහා නවීන ක්‍රම ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි

හමුදාමය සබඳතා ශක්තිමත් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් වැඩි පුහුණු අවස්ථා ලබා දෙන අතරම රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට ශ්‍රී ලංකාවට සහාය වීමට ඊශ්‍රායලය කැමැත්තෙන් සිටී.

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති ආචාර්ය රොන් මල්කා මහතා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බදාදා (පෙබරවාරි 12) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවූ මොහොතේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, අධ්‍යාපන, ප්‍රවාහන හා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයන් සංවර්ධනය කිරීම සඳහා ආධාර ලබා දෙන අතරම, අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා නැගී එන සයිබර් ආරක්‍ෂණ හැකියාවන් ඉහළ නැංවීම පිළිබඳ සිය විශේෂඥ දැනුම බෙදා ගැනීමට ඊශ්‍රායලය සූදානම් බව පවසා සිටින ලදී.

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට ඊශ්‍රායලය දැඩි කැමැත්තෙන් පසුවන බවත් , මෙරට  ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ඕනෑම ආධාරයක් ලබා දෙන බවත් ඔහු පැවසීය.

 “ඊශ්‍රායලය’ දියුණු තාක්ෂණික අංශයන් ඉදිරියෙන් සිටිමින් සෑම විටම නවෝත්පාදනයන් වර්ධනය කරගනිමින් සිටී. එමෙන්ම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, අධ්‍යාපන, සෞඛ්‍ය, තාක්‍ෂණික සහ වෙනත් අංශවල විශේෂඥ දැනුම බෙදාහදා ගත හැකි මාර්ග ගණනාවක් තිබේ” යනුවෙන් ඔහු පැවසීය.

ඉන්දියාවේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා තම රටේ දායකත්වය පිළිබදව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ එමගින් ගොවීන් දහස් ගණනකට ප්‍රතිලාභ ලැබී ඇති බවයි. “ක්‍රමවත් වාරිමාර්ග කළමනාකරණය කෘෂිකර්මාන්තයේ අනිවාර්ය අංගයකි. ජල කළමනාකරණය සම්බන්ධයෙන් පරිපූර්ණ ප්‍රවේශයක් තිබිය යුතු අතර මෙහි බිංදු වාරිමාර්ග ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා ආධාර සැපයීමට ඊශ්‍රායලය සූදානම්” වැඩිදුරටත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට ආර්ථිකය කඩා වැටී ඇති බවත්,මෙරටට  නව බලාපොරොත්තුවක් ලබා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  බවත් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය. “ජනතාව ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇති අතර, ඔහු අතීතයේදී  ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව මෙහෙයවා  සිය  හැකියාවන් ඔප්පු කර ඇති හෙයින් ඔහු රට යළිත් වරක් ඉදිරියට ගෙන යනු ඇත” ඔහු පැවසීය.

වර්තමාන රජය සිය රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සදහා ලබා දී ඇති වැදගත්කම පැහැදිලි කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ සහාය සුහදශීලීව පිළිගත්තේය.

ලෝකයේ හොඳම බුද්ධි සේවාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලය කීර්තියට පත්ව ඇති හෙයින්, විශේෂයෙන්ම  සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

ඊශ්‍රායල හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිස් නිලධාරීන්ට ඔවුන් සතු දැනුම, පළපුරුද්ද සහ පුහුණුව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් බෙදා ගත හැකි බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

“ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය පොදු අභියෝගයන්ට මුහුණ දෙන අතර දෙරට අතර විශේෂඥ  දැනුම බෙදාහදා ගැනීමට විශාල ඉඩක් තිබේ” තානාපති මල්කා පැවසීය.

ඊශ්‍රායල් තානාපතිවරයා ආරක්‍ෂක ලේකම් හමුවීමට  පෙර ජනාධිපතිවරයාද හමුවිය.

මෙම අවස්ථාවට ඊශ්‍රායල තානාපති කාර්යාල දේශපාලන උපදේශක නෝවා හකීම් (Noa Hakim) ද සහභාගී විය.