රණවිරු සේවා අධිකාරියේ සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීමට කටයුතු කෙරේ

පෙබරවාරි 13, 2020

•    රණවිරුවන් සහ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් සේවා සැපයීම දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීම දක්වා පුළුල් කිරීමට කටයුතු කරන බව පවසයි.   

ආබාධිත හමුදා සාමාජිකයින්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල් සඳහා පහසුකම් සැපයීම කඩිනම් කිරීම වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය (RVSA) වෙත සේවාවන් ලබාගැනීමට පැමිණෙන පිරිස් වෙත තමන් පැමිණි කාරණය එම දිනය තුලදීම සිදුකර ගැනීම සදහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට හැකි වන පරිදි උසස් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කරයි.   

අනාගත පරපුර උදෙසා සාමකාමී රටක් බිහිකිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සෙබළුන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

“විවිධ දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පත් කර ඇති රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් ප්‍රාදේශීය බලධාරීන්ගේ සම්බන්ධීකරණය සහිතව ඔවුනට අදාළ ප්‍රදේශවලට මාරුකර යවනවා” ඔහු පැවසිය.  

කොළඹ රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත අද (පෙබරවාරි 13) දින සිය පළමු සංචාරය සිදුකරමින් අධිකාරියේ කාර්ය මණ්ඩලය අමතමින්, ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලන උදාර සේවාවක් සඳහා රණවිර සේවා අධිකාරියෙහි දැනට සිදුකරමින් පවතින කාර්යයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.   

ඔවුන්ට අවශ්‍ය වන්නාවූ ආධාර සැපයීම සඳහා වන ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා පවත්නා ක්‍රියාවලිය විධිමත් කරන බව ආරක්‍ෂක ලේකම් පැවසීය.   

“මියගිය රණවිරුවන්ගේ සහ ආබාධිත හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අවශ්‍යතා ප්‍රමාදයකින් තොරව ඉටුකළ යුතුය” ඔහු පැවසීය. තවද රටේ අනාගතය වෙනුවෙන් සටන් කළ හමුදාවට ප්‍රමුඛතාවය දිය යුතු බව වැඩිදුරටත් ඔහු පැවසීය.  

2019 දෙසැම්බර් 10 වන දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන අංක 2153/12 යටතේ, රණවිරු සේවා අධිකාරිය යනු ආරක්‍ෂක අමාත්‍යංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන අධිකාරියකි.   

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර, උප සභාපතිනි සෝනියා කෝට්ටෙගොඩ සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.