‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

පෙබරවාරි 14, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ උපදෙස් පරිදි  ‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව අතිරේක ශ්‍රමයක් යොදවමින්  කඩිනම් කිරීමට නියමිතය.

බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා පළමුව චෛත්‍යය සාදා නිම කරන ලෙසත්, පසුව පිටත ව්‍යුහයන් හා කැටයම් නිම කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් උපදෙස් ලැබී ඇති බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

‘මෙය වැඩ නිම වූ විට රටේ සිව්වන විශාලතම දාගැබ  වන අතර මා ධුරයට පත්වන විට  නතර වී තිබූ එම වැඩ කටයුතු  දැන් නැවතත් කඩිනම් කර තිබේ. නියමිත වේලාවට අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීම සඳහා එම වේගය පවත්වා ගන්න’ මේජර් ජෙනරාල් ගුණරත්න මහතා බ්‍රහස්පතින්දා (13) අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියෙහි ඉදිකිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී පැවසීය.

ඉදිකිරීම් කටයුතු පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ව්‍යාපෘති නිලධාරීන් මේජර් ජෙනරාල් ගුණරත්නට දන්වා සිටියේ පසුගිය මාසයේ පැවති අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීමේ සිට මාසයකට අඩු කාලයකදී මෙම දැවැන්ත ව්‍යුහයේ උසට අඩි දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එක් කිරීමට ඔවුන්ට හැකි වූ බවයි.

‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියට තමා සම්බන්ධ වීම ගැන සඳහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ දාගැබ ව්‍යාපෘතිය සඳහා මුලින්ම භූමිය සැකසු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ පූජනීය වස්තු තැන්පත් කළ පිරිස අතර තමාද සිටින බවයි.

සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රුවන්වැලි සෑයේ පැරණි ‘චූඩා මාණික්‍යය’ ලැබී ඇති බව ඔහු තවදුරටත් අනාවරණය කළේය.

“එම ‘චූඩා මාණික්‍යය’ නව දාගැබ මත තැන්පත් කිරීමට පෙර මහජනතාවට  වන්දනාමාන කිරීම උදෙසා රට පුරා ගෙන යනු ඇත” ආරක්ෂක ලේකම් පැවසීය.

බුද්ධිමය මණ්ඩලයේ නිර්දේශ හා උපදෙස් අනුව තම කටයුතු කරගෙන යන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි මේජර් ජෙනරාල් ගුණරත්න, සාම්ප්‍රදායික චෛත්‍යය ඉදිකිරීමේ ක්‍රමවේදයන් පිළිපැදීමටත්, ඉදිකිරීම් සඳහා භාවිතා කරන සියලු ද්‍රව්‍ය නියමිත ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවටත් ඔවුන්ට උපදෙස් දුන්නේය.

රට ත‍්‍රස්තවාදයෙන් මුදවා ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් විසින් කරන ලද උදාර සේවය අගය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ‘සඳහිරු සෑය’ඉදිකිරීම ආරම්භ කරන ලදී. වැඩ නිම කිරීමෙන් පසු අඩි 285 ක් උස සහ පළල අඩි 255 ක් වන මෙම  දාගැබ මෙරට සිව්වන විශාලතම දාගැබ වනු ඇත.

පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අධිකාරී, මහාචාර්ය නිහාල් ද සිල්වා, මහාචාර්ය පී.බී. මන්ඩාවල, ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, 21 වන සේනාංකයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කුමා ජයාපතිරණ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ව්‍යාපෘතියට අදාළ  අනෙකුත් ආයතනවල නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.