ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට ඇෆ්ගනිස්ථානයේ සහාය

පෙබරවාරි 17, 2020

දකුණු ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම්. අස්රෆ් හයිධරි මහතා පොරොන්දු විය.

ඔහු කියා සිටියේ දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක කටයුතු වලට ශ්‍රී ලංකාව ඉතා වැදගත් මාර්ගයක් ලෙස පවතින අතර දෙරටේ ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ හැකියාව දෙරටටම ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (17) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමඟ පැවති සුහද හමුවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

“ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්ථානයට බෙදා ගැනීමට බොහෝ දේ ඇති අතර අංශ කිහිපයක් ඔස්සේ සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් දෙරට අතර සංස්කෘතික සබඳතා සහ සංචාරක කර්මාන්තය නංවාලීමේ සැබෑ හැකියාවක් මෙමඟින් හිමි වේ” ඔහු පැවසීය.

මේ අතර, සාකච්ඡාවට භාජනය වූ කරුණු පිළිබඳව සටහනක් තබමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න අවධාරණය කර සිටියේ ද්විපාර්ශ්වික සහයෝගීතාව, ආරක්ෂාව සහ ආරක්ෂක සහායෝගිතාවය, ව්‍යාපාර හා ආයෝජන, ආයතනික හැකියාවන් ගොඩනැගීම සහ පවත්නා සබඳතා වඩාත් තහවුරු කර ගැනීමට හැකි බවයි.

කලාපයේ සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන හා අන්තවාදය නිසා ඇති වන ආරක්ෂක අභියෝගයන්ට එරෙහි සටන් කිරිම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරිණි.