ශ්‍රී ලංකාවට විනයගරුක හා වෘත්තීයමය පොලිස් බලකායක් අවශ්‍යයි - ආරක්ෂක ලේකම්

පෙබරවාරි 21, 2020

රට තුළ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා විනයගරුක හා වෘත්තීයමය පොලිස් බලකායක අවශ්‍යතාවය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කළේය.   

“ජනතාවට මිත්‍රශීලී පොලිස් සේවාවක් ලබාදීම සඳහා ලබා ගන්නා ලද මුලික පුහුණුව මගින් විනය හා වෘත්තීයමය හැකියාවන් උපරිම උසස් මට්ටමකින් පවත්වා ගනිමින් රට තුළ සාමකාමී හා සමෘද්ධිමත් යුගයක් ඇති කිරීමට පොලීසිය කැපවිය යුතුය” ඔහු පැවසීය.

විසිරයාමේ උත්සවයේදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු පවසා සිටියේ විනය හා වෘත්තීය දක්ෂතාවය විනයගරුක පොලිස් සේවයක් පවත්වා ගැනීමට උපකාරී වනවා පමණක් නොව විනයගරුක සමාජයක් පවත්වාගෙන යාමටද අත්‍යවශ්‍ය වන බවයි.  

මුලික පුහුණුව සාර්ථකව අවසන් කල ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 400 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල් රියදුරන් 128 දෙනෙකු ඇතුලත්ව ආධුනික නිළධාරින් 528 දෙනෙකු කළුතර පොලිස් විද්‍යාලයේ පැවති විසිරයාමේ පෙළපාලියේදී විසිරයන ලදී. විසිර යන ලද පොලිස් කොස්තාපල්වරු අතර දෙමළ පොලිස් කොස්තාපල්වරුන් 61 දෙනෙකු සහ මුස්ලිම් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනකුද ඇතුලත් විය.  

මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් ස්කොට්ලන්ත පොලිස් විශේෂඥයින් විසින් වැඩිදියුණු කරන ලද නව විෂය නිර්දේශය යටතේ මුලික පුහුණුව තුළදී ප්‍රජා පොලිස්කරණය, මහජන සාමය කළමනාකරණය, ආපදා කළමනාකරණය, සන්නිවේදන කුසලතා වර්ධනය, භාෂා දැනුම වර්ධනය, තොරතුරු තාක්ෂණය යන විෂයන් හදාරා ඇත.   

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත අනියුක්ත කරන ලද විශේෂ පුහුණුව ලද ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින් විසින් දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි විශාල තරුණ පිරිසක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමට කටයුතු කර ඇත. මෙම ගෞරවය හිමිවන්නේද  එම බලකායට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායම වෙතයි,” මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.  

තිරසාර සංවර්ධනය කරා රට රැගෙන යාම විශාල අභියෝගයක් බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.  

මුලික පුහුණුව අතරතුරදී විවිධ විෂයයන් ඔස්සේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් වෙත  සම්මාන පිරිනැමු අතර විසිරයාමේ පෙළපාලිය දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් විය.   

මෙම අවස්ථාව සිහිපත් කරවනු වස් ආරක්ෂක ලේකම් තුමන් සහ වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.  

මෙම අවස්ථාවට ආගමික නායකයින් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් සහ විසිර යන නව පොලිස් නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.