‘විරුසුමිතුරු’ නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරයි

පෙබරවාරි 26, 2020

මියගිය හා ආබාධිත සොල්දාදුවන්ගේ පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සැලසුම්කර ඇති  ‘විරුසුමිතුරු’ නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) සහ රණවිරු සේවා අධිකාරිය (RVSA), එක්ව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය පසුගිය පාලන සමය යටතේ  2020 වසර වන විට අවසන් කිරීමට නියමිතව තිබුණි.

මේ පිළිබදව පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී  නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සම්බන්ධව කරුණු සාකච්ඡා කළ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ව්‍යාපෘතියේ වැඩ කටයුතු  අවසන් කිරීමට නියමිත දිනය දීර්ඝ කරන ලෙස උපදෙස් දී තිබේ.

“මෙරට තුළ සාමය උදාකිරීම සදහා ඔවුන් විසින් සිදු කරන ලද පරිත්‍යාගයන් වෙනුවෙන් රණවිරුවන්ගේ ගැටළු විසඳීමට අපි ප්‍රමුඛත්වය දී ඇත. නිවාස අවශ්‍යතාවය සපුරාලීම යනු ඔවුන්ට යහපත් ජීවන තත්වයක් ලබා දීම සඳහා අප විසින් විසඳීමට යන එක් ගැටලුවකි.” ඔහු පැවසීය.

කැබිනට් අනුමැතිය සඳහා නුදුරේදී ඉදිරිපත් කෙරෙන නව කැබිනට් පත්‍රිකාවේ සංශෝධන සඳහා ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත ප්‍රතිපාදන, දීර්ඝ කරන ලද කාලසීමාව සහ ඉලක්කගත නිවාස ප්‍රමාණය ඇතුළත් වේ.

විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් 2022 වසර වන විට සම්පුර්ණයෙන් වැඩ නිමකළ සහ අඩක් නිමකළ නිවාස 3,650 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට අපේක්ෂා කරයි.

මෙම නිවාස ව්‍යාපෘතිය සදහා රණවිරු සේවා අධිකාරිය විසින් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් තෝරා ගනු ලබන අතර ශ්‍රමය ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබයි.

එක් එක් නිවසක් ඉදිකිරිම සදහා අවශ්‍ය හා වන මූල්‍ය ප්‍රතිපාදන වාරික හයකින් රණවිරු සේවා අධිකාරිය විසින් ගෙවනු ලැබේ.

මෙම අවස්ථාව සදහා අතිරේක ලේකම් (ආරක්ෂක සේවා) සමන්ති වීරසිංහ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රත්නායක චූලානන්ද, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලලිත් එදිරිසිංහ, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) විජිත් සුබසිංහ, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරින්, ත්‍රිවිධ හමුදා සුභසාධක අධ්‍යක්ෂවරුන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් ද සහභාගී වුහ.