පොලිසිය, නාවික සහ යුද්ධ හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තීව්‍ර සටනක

පෙබරවාරි 29, 2020
  • ශ්‍රී ලංකා යුද හමුදා භටයින් විසින් උතුරෙන් කේරළ ගංජා කිලෝ 320 ක් සොයා ගනී

කේරළ ගංජා ඇතුළුව නීති විරෝධී  මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පුළුල් ලෙස වැටලීම් තීව්‍ර කිරීමට, ආරක්ෂක අංශ හා පොලිසිය වෙත ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

වැටලීම් කඩිනම් කිරීම  සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ සෝදිසි කිරීම් තව දුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබුණු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඉතා ඵලදායී ලෙස  සිදු කරමින් සිටී. “ජනාධිපතිවරයාගේ නියෝග යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ද මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව සටන් කිරීමට පියවර ගෙන තිබෙනවා”, යැයි ඔහු පැවසුවේ අද දින පොලීසියේ විශේෂ කාර්ය බලකාය සමඟ යුද හමුදා භටයන් විසින් අත්අඩංගුවට ගත් විශාල ගංජා තොගය ගැන සඳහන් කරමිනි.

ආරක්ෂක අංශ සහ පොලීසිය යොදා  ගැනීමේ ප්‍රධාන අරමුණ  වනුයේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා හොඳින් සම්බන්ධීකරණය වූ  වැඩසටහනක් නිර්මාණය කිරීම බව ඔහු පැවසුවේය.

 “අපි, අපගේ අනාගත පරම්පරාව ආරක්ෂා කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට කැපවී සිටිනවා”, ආරක්ෂක ලේකම් පැවසීය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පැවසුවේ ඔහුගේ භට පිරිස්, ජනාධිපති රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා රජයේ දරන උත්සාහයන්ට සහාය දැක්වීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත්  මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව සටන් කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවත්ය.  

 “මීට වසර 10 කට පෙර රටේ ත්‍රස්තවාදය තුරන් කිරීම සදහා කැප වූ ආරක්ෂක අංශ වලට නව කාර්යයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමට භාරදී තිබෙනවා. සියලු ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට හා  විශේෂයෙන් වන්නි ආරක්ෂක සේනා  ආඥාපති හට  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඉක්මන් පියවර ගන්නා ලෙස අපි උපදෙස් ලබා දී තියෙනවා”, ඔහු පැවසුවේ මන්නාරම, වව්නියාව හා යාපනය ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය ජාවාරම විශාල ප්‍රශ්නයක් බව සදහන් කරමිනි.         

ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් සහ විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගත් කේරළ ගංජා විශාල ප්‍රමාණය මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් තිබිය හැකි බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව විශේෂ මෙහෙයුම් ඉදිරියටත්  කරගෙන යනු ඇති බවත්, යුද්ධ හමුදාධිපතිවරයා පැවසීය.

“ජනාධිපති රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් ගුණරත්න, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීමට, විශේෂයෙන් අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ආරක්ෂක අංශවලට පැහැදිලි උපදෙස් ලබා දී තිබෙනවා”, ඔහු පැවසීය තවද  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වර්තමානයේ  පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් විවිධ ආකාරයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙත ආකර්ෂණය කර ගැනීමට උත්සහ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග වලට අනුව, උතුරු පළාතේ අද දින අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ 320 ක් ද ඇතුළුව කිලෝ 383 ක් පසුගිය මාස දෙක තුළදී යුද හමුදා භටයන් විසින් අත්පත් කරගෙන තිබේ.

2019 දී කේරළ ගංජා ටොන් 3.4 කට අධික ප්‍රමාණයක් අත්පත් කරගත් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය මාස දෙක තුළ කේරළ ගංජා කිලෝ 1,127 ක් අත්පත් කරගෙන තිබේ.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් වැටලීම් 45,980 ක් සිදු කර ඇති අතර, කේරළ ගංජා ඇතුළු ගංජා කිලෝ 5,561 ක් ද, පුද්ගලයින් 45,765 ක් ද 2019 දී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මාස දෙක තුළ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය 8,227ක් වැටලීම් සිදුකර ඇති අතර, ගංජා කිලෝ 1,092ක් ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 8,162 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ගාල්ලේ  අද සිදු කරන ලද ඒකාබද්ධ මුහුදු මෙහෙයුමකදී, රුපියල් මිලියන 1,180 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 68 ක් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් කිලෝ 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර ඒකාබද්ධ පරීක්ෂණ පවත්වයි.