ආරක්ෂක අමාත්‍යාංශය COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා වැඩි මහජන සහයෝගයක් ඉල්ලා සිටී

මාර්තු 19, 2020
  • කටකතා පතුරවන්නන් සම්බන්ධයෙන්  දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යාංශය පවසයි
  • නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා වන පහසුකම් සැලසීම පිලිබදව අවධාරණය කරයි
  • COVID-19 අවම කිරීම සඳහා මහජන එකමුතුකමේ වැදගත්කම ඉස්මතු කරයි
  • කටකතා පතුරවන්නන් පිළිබඳව බුද්ධි අංශ දැනුවත්ව විමසිල්ලෙන් සිටින බව අනාවරණය කෙරේ

කොරෝනා වෛරසය COVID - 19 අවම කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන් පිළිබඳව ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීම සඳහා සයිබර් අවකාශය භාවිතා කරමින් මහජනතාව නොමඟ යන ප්‍රකාශ නොකරන ලෙස   කටකතා පතුරවන්නන්ට දැඩි ලෙස අනතුරු අඟවමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන්ද ඉල්ලා සිටින්නේ තම නිවාස තුල රැදී සිටීමෙන්, සෞඛ්‍ය හා ආරක්ෂක අමාත්‍යාංශවල උපදෙස් පිළිපැදීමෙන් මෙම  වෛරසය පැතිරීම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට සහාය ලබා දෙන ලෙසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, ආරක්ෂක අංශයන්ට අයත් සියලුම රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ ඇතුළු මිලියන 22 ක් වන  සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ වගකීම වනුයේ   COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම වන අතර මහජනයා තුල අනවශ්‍ය බියක් ඇති නොකර වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවට COVID-19 තත්ත්වය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් පිළිබඳව ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා සිටියේය.

 “මෙය 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මුළු රටම එකට එකතු වූ ආකාරය හා සමානය. මෙම වෛරස් රෝගයට මුහුණ දීම සඳහා රජයට ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ සහාය අවශ්‍ය වේ.” ආරක්ෂක ලේකම් පැවසීය.

ආරක්ෂක ලේකම් ලෙස මේ වන විට වෛරසය පැතිරීම අවම කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ඊට සම්බන්ධ සියලු බුද්ධි අංශ විසින් අවශ්‍ය සියලු පියවරයන් ගෙන ඇති බවට තමාට සහතික විය හැකි බව ඔහු පැවසීය.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත්තේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වන බැවින් කිසිදු අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවත්, තම නිවෙස්වල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා වඩාත් වැදගත් වන්නේ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට භාජනය වීම බව මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටින ලදී.

 “කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගත් විට  අප විසින් එම රෝගීන් IDH වැනි රෝහලකට යොමු කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නෙමු පූර්වාරක්‍ෂක පියවර ගැනීම රෝගියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවසන් නොවන අතර රෝගීන් සමඟ සම්බන්ධ වූවන් සොයා ගැනීමට කටයුතු කරන අතරම ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීමට අපොහොසත් වුවහොත් බුද්ධි අංශවල සහාය ලබාගෙන ඔවුන් සොයාගෙන ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු වන ලෙසට උපදෙස් ලබා දෙනවා ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

දින 14 ක කාලයක් පුරා ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින අයගේ නිවෙස්වල පොලීසිය විසින් ස්ටිකරයක් නිකුත් කරන ලද්දේ ඔවුන් සමාජයෙන් හුදෙකලා කරවීමට නොව, COVID-19 වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වෙනත් අයගෙන් වෙන්කර තැබීමට බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්  දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට පහසුකම් සැලසීමට කැපවීමෙන් කටයුතු කරන  අතර ඔවුන් රෝගීන් සමඟ ඍජුවම සම්බන්ධවී  වැඩ කරන බැවින් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක උපකරණ ඔවුන් වෙත ලබා දී ඇති බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය පිළිබදව  සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ මෙය ජනතාව අපහසුතාවයට පත්කිරීමට නොව ප්‍රතිඵලදායී පියවරක් ලෙස විශේෂිත අධි අවදානම් ප්‍රදේශවල අනවශ්‍ය ගමනාගමනයන්  සීමා කර COVID-19 පැතිරීම අවම කිරීම සඳහා වන බවයි.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති COVID-19 ව්‍යාප්ත වීම අවම කර සමස්ත ලෝකයට හොඳ ආදර්ශයක් ලබා දීමට කුඩා රටක් වන ශ්‍රී ලංකාව හැකි බව ඔහු පැවසීය.

COVID-19 පාලනය කිරීම සඳහා රජය ගෙන යන ප්‍රයත්නයන්ට අදාළව සමාජ මාධ්‍ය ජාලාවල කිසියම්  ව්‍යාජ හෝ නොමග යවන සුළු තොරතුරක් හා හානිකර දැන්වීම්  පළ නොකරන ලෙසත්  එවැනි වගකීම් විරහිතව ක්‍රියාකරන  පුද්ගලයින් හෝ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බවට ආරක්ෂක ලේකම් අනතුරු ඇඟවීය.

මීට වසර 10 කට පෙර කුරිරු ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයට ආදර්ශයක් ලබා දී ඇත්තේ සාමකාමී රටක් සඳහා ආශාවෙන් බලා සිටි සියලුම ශ්‍රී ලාංකිකයන් එකම අරමුණක් සඳහා එකතු වූ නිසා බවත්  ලෝකයට ආදර්ශයක් සැපයීම සඳහා COVID-19 පරාජය කිරීම වෙනුවෙන්  අප නැවත එකා මෙන් එකට එක්විය යුතු කාලය මෙය බවට තවදුරටත් වඩා වැඩි මහජන සහයෝගය ඉල්ලා සිටිමින් ඔහු පැවසීය.