“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනපතිට පිළිගන්වයි

ජුලි 25, 2019

කළු ගඟ ජලාශයේ රන් දියවර ද රජරට, වයඹ සහ නැගෙනහිර කෙත්වතු සරු කරන්නට සූදානම් – ජනපති පවසයි

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් මහා ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපතිතුමා පවසයි.

එමෙන් ම ව්‍යාපෘතියට අයත් ප්‍රධාන ඇළ මාර්ග වූ වයඹට ජලය ගෙන යන වයඹ ඇළ, නැගෙනහිරට ජලය ගෙන යන ඉහළ ඇළහැර සහ මිණිපේ ඇළ සංවර්ධන කටයුතු ද මේ වන විට කඩිනමින් සිදුවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීම වෙනුවෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සතළිස් වසරක් පුරා ක්‍රියාත්මක මහවැලි සංවර්ධන වැඩසටහන මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන්නා සේම එය රටේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක නිමා නොවන පුනරාගමන ක්‍රියාවලියක් බවයි. මහවැලි දියවරෙන් මහපොළෙව තෙත් කරන එම යෝධ ක්‍රියාන්විතයේ සුවිශේෂි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මුළු මහත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සුවිසල් කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දේශයේ ප්‍රගමනය සඳහා නිම කරන්නට ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජලය සහ භූමිය බෙදාගත නොහැකිව මහපොළව ගොවීන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා තමා ද දැක ඇති බවයි. වියළි කලාපීය ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද කළු ගඟ මහා ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා පැවසීය. රජ රට ගොවි ජනතාව වෙනුවෙන් තමා දුටු දීර්ඝකාලීන සිහිනයක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය යථාර්ථයක් කර ගැනීම වෙනුවෙන් සහ එදා මෙදා මහවැලිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප්‍රධාන ඉංජිනේරුවාගේ සිට සැලසුම් ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් මෙන්ම අවසාන කම්කරුවා දක්වා සියලුදෙනාට තම ගෞරවය පුද කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

95 සිට 2010 දක්වා මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇසුරේ සිදු කළ අති විශාල වැඩකොටස පිළිබඳ ලේඛනගත ප්‍රකාශනයක් නොමැතිවීමේ අඩුව සපුරාලීමට 95 න් පසු මහවැලිය ග්‍රන්ථය සම්පාදනය කොට තිබෙන අතර කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නො ව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන ‘මහවැලිය – සංහිඳියාවේ ගංගාව’ ග්‍රන්ථය තුළ අන්තර්ගතය.

ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන ලදී.

ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ සහ ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රධාන සංස්කාරක කේ. ආරියතුංග යන මහත්වරුන් ඇතුළු සම්පාදක මණ්ඩලය විසින් මෙහිදී ග්‍රන්ථ ද්විත්වය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ගාමිණි ජයවික්‍රම පෙරේරා, පී. දයාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මහවැලියට සම්බන්ධව කටයුතු කරන සහ කළ මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් විද්වතුන්, කලාකරුවන් විශ්වවිද්‍යාල සිසුන් සහ මහවැලි සහ පරිසර විෂයට සම්බන්ධ වෘත්තිකයින් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය