අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

››› මුල් පිටුව    

අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය


      2015 ජනවාරී 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.

     ඔහු මෙසේ ජනාධිපති ලෙස තේරී පත් වුයේ විධායක ජනපති ලෙස පෙර නොවු විරූ ආකාරයේ තුන්වැනි වාරයක් බලාපොරොත්තු වු එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරදවමිනි. පොදු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග වදිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මුළු ඡන්දවලින් 51.28% ක් එනම් ඡන්ද 6,217,162 ක් ලබා ගත් අතර ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ ඡන්ද 5,768,090 (47.58%) ක් පමණි. ඒ අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය 81.52% ක් හෙවත් ඡන්ද 12,264,377 න් වැඩි ඡන්ද 449,72 ක් ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේය.

     ක්‍රි. ව. 1070 දී ස්ථාපනය වු ලංකාවේ දෙවැනි ඓතිහාසික රාජධානිය වූ පොළොන්නරුවේ ඉපිද හැදී වැඩුණු මෛත්‍රීපාල සිරිසේන ග්‍රාමීය කෘෂි කාර්මික ජනතාව අතරින් තේරී පත් වු පළමු ජනාධිපතිවරයායි. පොළොන්නරුව විශාල වශයෙන් වී වගා කරන්නන් විසින් ජනාවාස කරන ලද ග්‍රාමීය ප්‍රදේශයකි. එමෙන්ම බොහෝ වාරිමාර්ග ජලාශ, ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වෙනත් ස්මාරකයන්ගේ නිවහන වූ ඓතිහාසික පොළොන්නරු නගරය ලෝක උරුමයක් ලෙස ද නම් කොට ඇත.

     දේශපාලනය වෙත පෙර කිසිදු පවුල් සබඳතාවක් නොමැති පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ නියෝජිතයෙකු ලෙස දේශපාලනයේ දීර්ඝ පෞද්ගලික ඉතිහාසයක් ඇත්තෙකි. ඔහුගේ පියා දෙවැනි ලෝක යුද්ධයේ හමුදා සේවයට පසු පොළොන්නරුවේ ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය අසළ අක්කර පහකට වැඩි භුමියක් වගා කළ මධ්‍යම පාන්තික ගොවි පවුලකට අයත් විය. බෞද්ධ දෙමාපියන්ගේ පුත්‍රයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන 1951 සැප්තැම්බර් 03 වැනිදා උපත ලබා බෞද්ධ විහාරස්ථාන සමඟ සමීප ඇසුරුකම් පවත්වමින් බෞද්ධයෙකු ලෙස හැදී වැඩුණේ ය.

     මිත්‍රශීලී හා නිහතමානී පුද්ගලයෙකු වන මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයන්හි පවත්නා සාම්ප්‍රදායික බෞද්ධ සාරධර්ම විදහා දක්වන්නෙකි. ඔහු සේවයට විශිෂ්ට කැපවීමක්, ජනතාවට සේවයක්, සරල ජිවිතයට වැඩි නැඹුරුවක්, මේ යුගයට ශ්‍රි ලංකාවේ ග්‍රාමීය සම්ප්‍රදායයේ අරටුව සකසන පවුල් සාරධර්මවලට බැඳීමක් විදහා දක්වා ඇත. ඔහුගේ දේශපාලන දිවිය තරුණ වියේදීම ආරම්භ වුවකි. 16 වැනි වියේ සිට ඔහු සමාජ හා දේශපාලන ගැටලූ පිළිබඳ උනන්දුවක් දැක් වූ ඔහු ක්‍රමයෙන් ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟ හැදී වැඩුණේය. ශ්‍රි ලංකාවේ බහුතරය අයත් වන ග්‍රාමීය හා වැඩ කරන ජනතාවගේ ආර්ථීක හා සමාජයීය ගැහැටවලට සහන සැලසීමට ඔහු පැහැදිලි කැපවීමක් පෙන්වා ඇත. තරුණ නායකත්වය යටතේ විරෝධතාවන්ට සහභාගීවීම, පාර්ලිමේන්තු නියෝජනය දක්වා පැමිණීම, දේශපාලන පක්ෂ සංවිධානයේ නායකත්වය, වැදගත් අමාත්‍ය ධුර ඉසිලීම හා මේ වන විට රටේ ඉහළම ධුරය වන ශ්‍රි ලංකාවේ ජනාධිපති ධුරය දක්වා ඔහුව ඔසවා තැබුවේ එම කැපවීම තුළිනි. ඔහුගේ ජනාපධිතිවරණ ව්‍යාපාරය තුළ ලංකාවේ විධායක ජනාධිපතිධුරයේ බලතල අඩු කිරිමේ අවශ්‍යතාවය වෙතත් රටේ සියලූ ජනවර්ග අතර එකමුතුබව සමඟ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ යහ පාලනය ඇති කිරීමත් කෙරෙහි අවධානය යොමු කළ අතර එම කාර්යය කි්‍රයාවට නැංවීමට ඔහු දැන් කැපවී සිටියි.

     පොළොන්නරුව ලක්ෂඋයන පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඔහු ද්විතියික අධ්‍යාපනය සඳහා පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයට පැමිණි අතර අනතුරුව පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරී ය. ශාස්ත්‍රීය අධ්‍යාපනය හා ඔහුගේ උපන් ප්‍රදේශයේ ඔහු වටා වු කෘෂිකර්මය පිළිබඳ තියුණු උනන්දුවක් ද සහිතව විශේෂයෙන් ගායනය, නර්තනය, සංගීතය හා සංස්කෘතික කි්‍රයාකාරකම්හිදී ද ඔහු විශිෂ්ටත්වය දැක්වීය.

     1973 දී ඔහු කෘෂිකර්ම පුහුණුව සඳහා වූ පුමුඛ මධ්‍යස්ථානය වන කුණ්ඩසාලේ ශ්‍රි ලංකා කෘෂිකර්ම පාසලෙන් කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තේය. දේශපාලන විද්‍යාව පිළිබඳව ඔහු තුළ වු උනන්දුව නිසාවෙන් පසුව 1980 රුසියාවේ මැක්සිම් ගෝර්කි ඇකඩමියෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ඔහු ලබා ගත්තේය.

ප්‍රගතිශීලී දේශපාලනය

     ආරම්භයේදී කොමියුනිස්ට් පක‍ෂයේ වාමාංශික දේශපාලනයට නැඹුරු වී සිටිය ද පසුව ඔහුගේ උනන්දුව යොමු වූයේ ප්‍රගතිශීලී මැද මාවතේ දේශපාලනය කෙරෙහි ය. 1967 දී මැදි මාවතේ ප්‍රධාන දේශපාලන පක‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයට එක්වූ ඔහු එහි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලේකම් පදවියට පත් වූයේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අධ්‍යාපනය ලබන කාලයේදීමය.

     1971 ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ තරුණ කැරැල්ලේ දී කිසිදු චෝදනාවක් නොතිබුණ ද ඔහුව සිර භාරයට ගන්නා ලද්දේ එම අවධියේදී දේශපාලනයේ නිරත වී සිටි තරුණයින් පිළිබඳ පැවති දැඩි සැකය නිසාය. ජ.වි.පෙ කටයුතුවලට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණ නමුත් මාස 15 ක් අත්අඩංගුවේ සිටීමට සිදු විය. පසුව කිසිම චෝදනාවකින් තොරව ඔහුව නිදහස් කරන ලදි.

     1974 දී පොළොන්නරුවේ සමූපාකාර සංගමයේ සැපයුම් නිලධාරියෙකු වශයෙන් ප්‍රථම රැකියාව කළ ඔහු 1976 දී ග්‍රාම නිලධාරී පදවියට පත් විය. මෙම පත්වීම අනුව ප්‍රදේශයේ ජනතාවගේ පරිපාලන අවශ්‍යතාවයන් ඉටු කිරීමේ සේවාව තුළින් ඔහු ගම්බද ජනතාවට වඩාත් සමීප වීමටත් ගම්බද ප්‍රශ්න සම්බන්ධයෙන් වූ දේශපාලන දැනුම තිව්‍ර කර ගැනීමටත් හැකි විය. 1977 මහ මැතිවරණයේදී ඔහු ශ්‍රී.ල.නි.ප. මැතිවරණ ව්‍යාපාරයට තදින්ම සම්බන්ධ වූයේය.

     ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න ගැන වැටහීමෙන් ක්‍රියා කරන අතර, ඔහු ශ්‍රී.ල.නි.ප.ය තුළ සිය සබඳතා පුළුල් කර ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1983 දී ඔහු ශ්‍රී.ල.නි.ප.යේ රට පුරා විහිදුණ තරුණ සංවිධානයේ සභාපති පදවියට පත් වූයේය. ඉන් පසු ඔහු ජාතික දේශපාලනයට පිවිසුණි.

     1977 දී පොළොන්නරුව කොට්ඨාසයේ ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කමිටුවේ ලේකම් පදවියට පත් ඔහු පක‍ෂය පරාජයට පත්වූ එම මැතිවරණයට පසු එ.ජා.ප.ය දියත් කළ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන්නේය. එම අමිහිරි අත්දැකීම්වල ප්‍රතිඵලයක් වශයෙන් 1978 දී ග්‍රාම නිලධාරී පදවියෙන් ඉල්ලා අස්වූ ඔහු පූර්ණ කාලීන දේශපාලනඥයකු බවට පත්විය. එම වසරේදී ඔහු කියුබාවේ හවානා නුවර පැවති ජාත්‍යන්තර තරුණ සමළුවට ද සහභාගී වූයේය.

     1977 දී බලයට පත් එ.ජා.ප. රජය නව ව්‍යවස්ථාවක් ස්ථාපනය කළ පසු එහි නායක ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් වූයේය. ගතවූ වර්ෂ ගණනාව තුළ විධායක ජනාධිපති ධුරය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට එල්ල වන අනතුරු මෙන්ම මැතිවරණ ක්‍රමයේ හානිකර කටයුතු ගැන ද මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳ අවබෝධයක් ඇති කර ගත්තේය. මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමාගේ ඇමති මණ්ඩලයේ සිටි කාලය තුළදී ද ඔහු විධායක ජනාධිපති තනතුරේ බලය තවත් වර්ධනය වන අන්දම දුටුවේය. එබැවින් ඔහුට රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කර 1931 පටන් මෙරටේ පැවති සර්වජන ඡන්ද බලය වඩාත් අර්ථාන්විත කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය සවිමත් කිරීමේ අවශ්‍යතාවය අවබෝධ විය.

    පක්ෂයට සැලකිය යුතු දේශපාලන දුෂ්කරතා පැවැති සමයක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ලේකම් ලෙස පත් වු 1979 වසර ද ඔහුගේ දේශපාලන දිවියේ වැදගත් වසරකි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායක හිටපු අගමැතිනි සිරිමවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතීන් අහිමි කිරීමට පාලක එක්සත් ජාතික පක්ෂයේ තීරණයට එරෙහි මහජන උද්ඝෝෂණයන්ට සහභාගී වීම හේතුවෙන් අත් අඩංගුවට ගත් ඔහුට කෙටි කලක් සිරගතව සිටීමට සිදු විය.

     ඊට පසු වර්ෂයේ ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් වු අතර දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයට නායකත්වය දීම ආරම්භ කළේය. ඉතා ඉක්මණින් 1981 දී දීප ව්‍යාප්ත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස පත් වු ඔහු පක්ෂයේ තීරණ ගන්නා ඉහළම තලය වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කමිටුවේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පාර්ලිමේන්තු දේශපාලනය

     පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 1989 දී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමෙන් ඔහුගේ පාර්ලිමේන්තු දේශපාලන ආගමනය ඇරඹුණි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ "අත" ලකුණින් තරග කර ජයගත් ඔහු 1989 පෙබරවාරි 15 වනදා පාර්ලිමේන්තුවට තේරී පත්විය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය හා පාර්ලිමේන්තුව හරහා ඔහුගේ දීර්ඝ කාලීන ජාතික සේවාවක ආරම්භය විය.

     දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ඡන්ද ලබා ගනිමින් 1994 මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන එවකට පිහිටවූ රජයේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීය. පසුව මහවැලි සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයට පත් වීමත් සමඟ ඔහුගේ ප්‍රගමනය අඛණ්ඩව ඉදිරියට ගිය අතර ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ උප ලේකම් ලෙස ද ඔහු තේරී පත් විය. ඊළඟ වසරේදී එනම් වසර 2000 දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ උප සභාපති ලෙස තේරී පත්වන ලදි.

     2001 දී 12 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එම වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහ ලේකම් ලෙස තේරී පත් වූ අතර 2015 ජනාධිපතිවරණයේ විපක‍ෂයේ පොදු අපේක‍ෂකයා ලෙස තරග කරන බවට ඔහුගේ තීරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව දක්වාම එම ධුරය හෙබවීය. වැඩිම කලක් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහ ලේකම් පදවිය උසුලන ලද්දේ මෙම ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

     එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිහි වීමට මං පෑදූ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට 2004 පෙබරවාරි මාසයේ දී අත්සන් තබන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඉන්පසු පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ 13 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු මහවැලි ගංගා නිම්න හා රජරට සංවර්ධනය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ද පාර්ලිමේන්තු සභා නායක ලෙස ද පත්විය.

     2005 නොවැම්බර් මාසයේදී කෘෂිකර්ම වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය සහ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය ධුරයන්ට ඔහුව පත් කරන ලදි.

     දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ඛෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා රටේ හටගත් ආයුධ සන්නද්ධ අර්බුදය නිමා කිරීම සඳහා රජය හා විරුද්ධ පක‍ෂය අතර සහයෝගීතාවය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය හා එක්සත් ජාතික පක‍ෂය අතර අවබෝධතා ගිවිසුමට ඔහු විසින් අත්සන් තැබීමේ තීරණාත්මක සිදුවීම 2006 දී සිදුවිය.

     පසුව ඔහු විසින් කෘෂිකර්ම සංවර්ධන හා කෘෂි සේවා සංවර්ධන අමාත්‍ය ධුරය දරන කාලය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ තිරසාරත්වය වෙනුවෙන් බීජ නිෂ්පාදනය වේගවත් කිරීම ඇතුළත් ශ්‍රී ලංකාව පුරා කෘෂිකාර්මික ප්‍රබෝධයකට මුල් වූ වැඩසටහනක් වන අමාත්‍යංශයේ විශේෂ කෘෂිකර්ම වගා සංග්‍රාමය "අපි වවමු - රට නගම" වැඩසටහන හඳුන්වා දෙන ලදි.

     මහවැලි ප්‍රධාන සැලැස්ම යටතේ ශ්‍රී ලංකා රුපියල් බිලියන 90ක මොරගහකන්ද - කළු ගඟ යෝජනා ක්‍රමය ඔහු විසින් 2007 ජනවාරි 25 වනදා ආරම්භ කරන ලදි. උතුරු මැද, උතුරු හා නැගෙනහිර පළාත්වල වාරි කර්මාන්තයට හා පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ජලය සැපයීමට අමතරව ගෘහස්ත හා කර්මාන්ත විදුලිබල අවශ්‍යතාවයේ දිගු කාලීන අවශ්‍යතාවක් සපුරාලමින් මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මෙගා වොට් 25 ක විදුලි බලය ජනනය කෙරේ.

ත්‍රස්තවාදයේ තර්ජන

     2007 මාර්තු මාසයේදී අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් විසින් වැලිකන්දේ දී එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබීය. මෙම ප්‍රහාරයට ත්‍රස්තවාදීන් තිදෙනෙකු වග කිවයුතු බවට ආරක‍ෂක අංශ විසින් හඳුනා ගන්නා ලද අතර ඔවුහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිය ඛෙල්ලේ පැළඳ සිටි සයනයිඩ් කරල් ගිලීමෙන් සිය දිවි හානි කර ගත්හ.

     2008 ඔක්තෝම්බර් 9 වැනිදා නැවත වතාවක් ඔහු බණ්ඩාරගම පැවැති  "වප් මඟුල් උත්සවයට" සහභාගී වී පැමිණෙමින් සිටියදී එල්.ටී.ටී.ඊ යේ ඉලක්කයට ඔහුව හසුකර ගැනීමට උත්සාහ දැරුණි. සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 15 දෙනෙකු තුවාල ලැබු එම ප්‍රහාරයෙන් ඔහු බේරීම දෛවෝපගත සිදුවීමකි.

     ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය උච්ඡතම අවස්ථාවට පත් ව තිබු 2005 වසරේ සිට ‍මෛත්‍රීපාල සිරිසේන වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පස් වතාවක් කටයුතු කළ අතර යුද්ධයේ අවසන් දිනවල ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා රටෙන් බැහැරව සිටි අවස්ථාවේ වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද මෛත්‍රීපාල සිරිසේන ය.

     2010 වසරේ මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය. එතුළ ඔහු 2010 සිට 2014 දක්වා රටේ විචක්ෂණශීලී හා ජනතා - හිතෛශී ‍ඖෂධ සැපයුමක් සහතික කිරීමට වෛද්‍ය සේනක බිබිලේ විසින් අනුමත කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ආර්ථවත්ව කි්‍රයාවට නැංවීමට ද මුල පිරීය.

    දුම්කොළ නිෂ්පාදන ඇසුරුම මත රූපමය අවවාද ඇතුළත් කිරීම සඳහා නීත්‍යානුකූල අවශ්‍යතාවන් හඳුන්වාදීමට ඔහු විශාල වශයෙන් මුල පිරී ය. උසාවිය තුළ හා පිටත බහු ජාතික දුම්කොළ සමාගම් සමඟ ගැටෙමින් එවන් රූපමය අවවාද ඇතුළත් කිරීම සහතික කිරීමට වු ඔහුගේ උත්සාහය සාර්ථක වුයේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙනි. එමඟින් දුම්බීමේ ආදීනව පිළිබඳව මහජනතාව දැනුවත් කෙරිණි.

ජාත්‍යන්තර පිළිගැනුම

     මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමති ලෙස කළ සේවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉමහත් පිළිගැන්මට ලක්විය. සෞඛ්‍ය ඇමති වශයෙන් ශ්‍රී ලංකාවේ දුම් පානය නවතාලීම සඳහා දැක්වූ අධිෂ්ඨානය උදෙසා ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ "2013 ලෝක දුම්කොළ භාවිතය තුරන් කිරීමේ සම්මානය" පිරිනමන ලදි. මේ ගෞරවය ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔහු ය.

     එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍යය සඳහා වූ හාවර්ඩ් විද්‍යාලය සහ කෙනඩි ආණ්ඩුක්‍රම විද්‍යාලය ඔහු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පිළිබිඹු කළ නිර්මාණාත්මක නායකත්වය අගය කරමින් "2013 හාවර්ඩ් අමාත්‍ය නායකත්වය උදෙසා වූ සෞඛ්‍ය සම්මානය" පිරිනමන ලදි.

     ජිනීවා හි පැවති 2013 G - 15 ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී ඔහු සෞඛ්‍ය උදෙසා වූ G - 15 ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 ලෝක සෞඛ්‍ය සම්මේලනයේ උප සභාපති පදවි හතරෙන් එකකට ඔහු පත් කර ගන්නා ලදි.

     සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් ඔහු මුල් වී ගත් පියවර අතර දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල සවිය වර්ධනය කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශයට දේශීය සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීමට අවසර ලබා දීම ද වේ. සාමාන්‍ය ජනතාවට පහසු මිලට ඖෂධ ලබා දීම උදෙසා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර වැදගත් ගිවිසුමක් අත්සන් තැබීම ඔහු සෞඛ්‍ය ඇමති වශයෙන් කළ තවත් වැදගත් කාර්යයකි.

ජනාධිපති ධුරය

     2014 නොවැම්බර් මාසයේ දී ඔහු එඩිතර ඉදිරි පියවරක් තබමින් විධායක ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා සිය හය වසක ධුර කාලය අවසන් වීමට දෙවසරකට පෙර, විවාදාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් දෙවරකට සීමාව තිබූ ජනාධිපති ධුර සීමාව ඉවත් කිරීම යටතේ තෙවන වරට ද සය වසරක් සඳහා පත්වීමේ අපේක්ෂාව ඇතිව පැවැත්වීමට තීරණය කළ ජනපතිවරණයේදී විපක‍ෂයේ පොදු අපේක‍ෂකයා බවට පත්වීමට එකඟත්වය පල කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමටත් විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමටත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය ඛෙදා ගැනීම තුළින් යහ පාලනය සහතික කිරීමටත්, රට අල්ලස් දූෂණයෙන් මුදවා ගැනීමටත්  "මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක" තේමාවෙන් රටපුරා සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළේය.

     ඒකාබද්ධ විපක‍ෂ සන්ධානය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක‍ෂකයා ලෙස ඔහු 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයට පොදු අපේක‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීන්දු කළ අතර, මැතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපති පදවියට පත් වූයේය.

     ජයන්ති පුෂ්පා කුමාරි මහත්මිය සමඟ විවාහ වී සිටින සිරිසේන මහතාට දියණියන් දෙදෙනෙකු සහ එක් පුත්‍රයෙකු සිටී.

 


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ