ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ

››› මුල් පිටුව    

ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා)

ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්

 

    
     ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා තම වසර 36 කට වඩා වැඩි ශ්‍රේෂ්ඨ යුධ හමුදා සේවා කාලය තුල ආරක්‍ෂක, බුද්ධි අංශ, සාමසාධක සහ ගැටුම් නිරාකරණය යනාදී ක්ෂේත්‍රයන් හි ප්‍රධාන තනතුරු බොහොමයක් හොබවා ඇත. 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 17 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්වන ලදී. මෙතුමන්ගේ සේවා කාලය තුල එක්සත් රාජධානියේ එම්අයි 5(MI5) බ්‍රිතාන්‍ය ආරක්‍ෂක සේවයෙහි, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ බුද්ධි හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවීම් ලබා ඇත.

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වේ. ජෙනරාල් කොට්ටෙගොඩ තම පාසැල් කාලය තුල දක්‍ෂ ක්‍රීඩකයෙකු වූ අතර 1968 සහ 69 යන වර්ෂවල පාසැල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය වෙනුවෙන් සහ මලල ක්‍රීඩා වලදී දැක්වූ දක්‍ෂතා සදහා පාසැල් වර්ණ ප්‍රදානය කර ඇත. ඔහු පාසැලේ ශිෂ්‍ය නායකයෙකු ලෙස සහ ශිෂ්‍යභට ඛණ්ඩයේ සැරයන්වරයකු හා කණ්ඩායම් උපකරණ පාලන සැරයන් වරයෙකුද විය.

ඔහුගේ යුධ හමුදා සේවා කාලය තුළ දී 2004 වර්ෂයේ අතිගරු ජනපතිතුමන් වෙතින් නැගෙනහිර ප්‍රදේශයේ සමස්ත මෙහෙයුම්හි ආඥාපති ලෙස තනතුරු ලබා ඇත. ඔහු ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක සහ බලසේනාවන්හි අණදීම් සිදුකර ඇත. තවද මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ස්වේච්ඡා බළසේනාවේ සේනාවිධායක, හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ ජනරාල් පුහුණු හා අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙසද රාජකාරී කර ඇත. තවද ජාතික බුද්ධි කාර්යාංශයට අනුයුක්තව එහි ත්‍රස්ත මර්ධන අංශ භාර අධ්‍යක්‍ෂක ලෙසද කටයුතු කර ඇත.

2002 වර්ෂයේ සැප්තැම්බර් සිට 2003 වර්ෂයේ මාර්තු දක්වා නෝර්වීජියානු රජයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර ශ්‍රී ලංකා, බැංකොක් සහ ඔස්ලෝ යන නගරවල පැවති සාම සාකච්ඡා සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ජෙනරාල් කොට්ටෙගොඩ මහතා කටයුතු කර ඇත. මන්නාරම, මුලතිවු, කළුතර සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි සිවිල් පරිපාලන කටයුතු, යුධ හමුදා සිවිල් සම්බන්ධීකරණ කටයුතු මානුෂීය සම්බන්ධතා සහ අර්බුධ/ හදිසි ආපදා කළමනාකරණය පිලිබදව සම්බන්ධීකරණ නිලධාරී ලෙසද කටයුතු කර ඇත.

ජෙනරාල් කෝට්ටෙගොඩ යුධබිමේදී දක්වන ලද දක්‍ෂතාවය උදෙසා දිනා ඇති සම්මාන සහ පදක්කම් පහත දැක්වේ

  • වීර වික්‍රම විභූෂණය - තෙවන ඉහළම දක්‍ෂතා සම්මානයයි. ඩබ්ලිව්ඩබ්ලිව්වී ප්‍රදානය කරනු ලබන්නේ සතුරා ඉදිරියේ තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූ උත්කෘෂ්ඨ ක්‍රියා සදහා පිරිනමනු ලබයි.

  • රණ වික්‍රම පදක්කම - සිව්වන ඉහළම දක්‍ෂතා සම්මානය.

  • රණ ශූර පදක්කම - පස්වන ඉහළම දක්‍ෂතා සම්මානය.

  • උත්තම සේවා පදක්කම - නිකළැල්, සුවිශේෂී, ආදර්ශවත් හැසිරීම සඳහා.

  • විශිෂ්ඨ සේවා විභූෂණය - නිකළැල්, සුවිශේෂී, ආදර්ශවත් හැසිරීම සඳහා

ඔහුගේ හමුදා වෘත්තීයෙන් පසුව රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය තුල බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සහ පසුව තායිලන්තයේ, ලාඕසය සහ කාම්බෝජයද ඇතුලත්ව තානාපතිවරයකු ලෙසද සේවය කර ඇති අතර එම කාලය තුළ ඔහු තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම (UN ESCAP) නියෝජනය කල නිත්‍ය නියෝජිතයෙකු ද විය.

ජෙනරාල් කොට්ටෙගොඩ මහතා වෙනත් රටවල තානාපතිවරුන් සහ නියෝජිතයන් සමඟ ඉතා සුහදව කටයුතු කරමින් බහුපාර්ශ්වීය සබඳතා වැඩිදියුණු කිරීමට සහ තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව අතර සහෝදරත්වය ගොඩනැගීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කර ඇත. බ්‍රසීලයේ තානාපති ධුරය දැරූ කාලය තුළ බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට කල සේවය වෙනුවෙන් බ්‍රසීලයේ ඉහළම ගෞරව සම්මානයක් වන ජනාධිපති සම්මානය දෙරට අතර මිත්‍ර සම්බන්ධතාවය නංවාලීම උදෙසා විදේශිකයෙකු විසින් කරන ලද සුවිශේෂී දායකත්වය සහ සේවාව අගය කිරීම වෙනුවෙන් පිරිනමා ඇත.

ජෙනරාල් කොට්ටෙගොඩ මහතාගේ ප්‍රකාශන

ශ්‍රී ලංකාවේ අරගලය - ශ්‍රී ලංකා හමුදාව විසින් මුහුණපාන ලද අභියෝග - බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ “ගෝලීයකරණය වන ලෝකයේ ජාත්‍යන්තර සබඳතා” නම් සඟරාවේ පළ කිරීම සඳහා ඉදිරිපත් කළ පත්‍රය.

ප්‍රති ත්‍රස්තවාදය - සංවර්ධනය වෙමින් පවතින රටවල හමුදාවන් මුහුණපාන ගැටළු - ජාතික ආරක්‍ෂක විද්‍යාලය නව දිල්ලිය, ඉන්දියාව වෙත ඉදිරිපත් කරනලද නිබන්දනය.

අධ්‍යාපනය සහ ගෝලීය පුරවැසිභාවය : බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් එක්සත් ජාතීන්ගේ 10 වන වෙසක් දිනය නිමිත්තෙන් ප්‍රකාශයට පත්කිරීමට ලබා දුන් ප්‍රකාශය.

ඔහු සෝනියා කොට්ටෙගොඩ මහත්මිය හා විවාහ වී ඇති අතර ඔහු පුතෙකු හා දියණියකගේ දයාබර පියෙකු වේ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ