ගරු රුවන් විජයවර්ධන මැතිතුමා

››› මුල් පිටුව    

ගරු රුවන් විජයවර්ධන මැතිතුමා

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

 


2015 ජනවාරි 12 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් ගරු දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මෙම භාරදූර තනතුර සඳහා තෝරා ගනු ලබන ළාබාලතම දේශපාලඥයින්ගෙන් එක් අයෙකි. පොදු ජනතාව අතර රුවන් විජයවර්ධන ලෙස ජනප්‍රියත්වයට පත්වන ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි.

පවුල් පසුබිම හා ළමා අවධිය

රුවන් විජයවර්ධන මහතා 1975 අගෝස්තු 04 වන දින රංජිත් විජයවර්ධන මහතාට හා රංජනි නීලා සේනානායක විජයවර්ධන යන යුවතිපතින්ගේ පවුලේ බාලම දරුවා ලෙස උපත ලබයි.

ඉතා දිගු දේශපාලන ඉතිහාසයක් සහිත දේශපාලන පවුලක උරුමය ලබන රුවන් විජය වර්ධන මහතාගේ පියා වන රංජිත් විජයවර්ධන මහතාගේ පියා ශ්‍රී ලංකාවේ එවකට පැවති විශාලතම ප්‍රවෘති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ප්‍රවෘති පත්‍ර සමාගමේ) නිර්මාතෘ මෙන්ම දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ දිවංගත දොන් රිචඩ් විජයවර්ධන මහතා වන අතර නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී ඇස් සේනානායක මහතා රුවන් විජයවර්ධන මහතාගේ මව් පාර්ශ්වයේ මුත්තා වේ. එසේම ශ්‍රි ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා මෙන්ම දෙවරක්ම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ඩඩ්ලි සේනානායක මහතාගේද ඥාති පුත්‍රයෙකි. රුවන් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර් ජයවර්ධන මහතාගේ හා වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේද සමීප ඥාතිවරයෙකි.

පාසැල් ජීවිතය හා අධ්‍යාපනය

1981 වසරේදී කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය කටයුතු ආරම්භ කරන රුවන් විජයවර්ධන මහතා අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු වලදීද කැපීපෙනෙන දක්‍ෂතා දක්වන පාසැලේ සිටි දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. දක්‍ෂ ක්‍රීඩකයෙක් වන ඔහු එවකට ශාන්ත තෝමස් රගර් සහ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරයි. නායකත්වයට ඇති සහජ දක්‍ෂතාව මෙන්ම ඔහු විසින් ප්‍රදර්ශණය කරණ ලද ආධ්‍යාපන සහ ක්‍රීඩා කෞශල්‍ය මත රුවන් විජේවර්ධන ශිෂ්‍යයා 1991 වසරේදී ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරින් පිදුම් ලබයි.

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සාර්ථකව නිමකරන රුවන් විජයවර්ධන මහතා අනතුරුව ලන්ඩන් (Landon A/L) විභාගය සඳහා 1992 වසරේදී කොළඹ ස්ටැෆඩ් ජාත්‍යන්තර පාසැලට (Stafford International School ) ඇතුලත් විය.

තෘතිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් 1995 වසරේදී රුවන් විජයවර්ධන මහතා එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලය (Sussex University) බලා පිටත්වේ.

අධ්‍යාපන කටයුතු නිමාවීමෙන් අනතුරුව සියරට බලා පැ‍මිණෙන රුවන් විජයවර්ධන මහතා සිය පරපුරේ ජ්‍යෙෂ්ඨයින්ගේ මග යමින් සිය ජනතා සේවය ආරම්භ කරයි. ඔහු නිරතුරුවම සිය කටයුතු වෙනුවෙන් අවශ්‍ය දැණුම හා අත්දැකීම් වැඩිදියුණු කරගැනීම සඳහා කැපවී ක්‍රියා කළේය. ඒ අනුව 2013 වසරේදී හවායිහි “ඊස්ට් වෙස්ට් සෙන්ටර්” හි (East West Center- Hawaii) ආසියා හා පැසිපික් කළාපයේ තෝරාගන්නා ලද තරුණ නියෝජිතවරුන් සඳහා පවත්වනු ලබන නායකත්වය පිළිබද පාඨමාලාව සඳහා සහභාග වේ.

සමාජ ජීවිතය හා දේශපාලනය

රටේ ඒ ඒ අවස්ථාවල ඇතිවූ අවශ්‍යතාවයන් හඳුනාගෙන විශාල මහජන සේවයක් කරනලද දේශපාලඥයින් සහිත පවුලක උපත ලද රුවන් විජයවර්ධන මහතා වත්මන් එක්සත් ජාතික පක්‍ෂයේ නායක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන අතර තම අතීත නෑසියන් විසින් අප මාතෘභූමිය වෙනුවෙන් සිදු කරන ලද ජාතික කාර්යභාරය තවදුරටත් වගකීමෙන් යුතුව ඉදිරියට ගෙනයාම සඳහා ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වේ.

එක්සත් ජාතික පක්‍ෂ තරුණ ක්‍රියාකාරිකයෙක් වන රුවන් විජයවර්ධන මහතා 2001 වසරේ ජුනි මස එක්සත් ජාතික පක්‍ෂයේ ඉතා වැදගත් මෙන්ම ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන වැඩ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් පත්කෙරෙන අතර අද දක්වාම ඔහු එම තනතුරෙහි වැඩ කටයුතු සිදුකරමින් සිටී.

තරුණ ක්‍රියාකාරීන් අතර කාර්යශූර කැපීපෙනෙන කෙනෙක් වූ රුවන් විජයවර්ධන මහතා දේශපාලනයේ ඉදිරියටම යා හැකි චරිතයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ ඉහළ දේශපාලන නායකත්වය විසින් හඳුනාගනී. ඒ අනුව,

2002-2004 කාලයේදී එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ වෘතීයවේදිකයින්ගේ සංවිධානයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලබන්නේ රුවන් විජයවර්ධන මහතායි.

2006 වසරේ අගෝස්තු මාසයේදී රුවන් විජයවර්ධන මහතාගේ දේශපාලන ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් වේ. ඒ ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ජනගහනයක් සහිත බියගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් කරනු ලබන පත්කිරිමෙනි.

2009 වසරේ පවත්වන ලද පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන රුවන් විජයවර්ධන මහතා විපක්‍ෂයේ වැඩිම මනාප ඡන්ද ලබාගනිමින් බස්නාහිර පළාත් සභාවේ සාමාජිකයකු වශයෙන් තේරීපත්වේ.

2011 වසරේ අප්‍රියෙල් මස එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික තරුණ පෙරමුණෙහි සභාපතිවරයා ලෙස පත්වන රුවන් විජයවර්ධන මහතා එදා සිට මේ දක්වාම එම තනතුරේ කටයුතු කරයි.

2010 පවත්වන ලද මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත්වන රුවන් විජයවර්ධන මහතා පක්‍ෂයට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් වැඩිම මනාප ඡන්ද දිනාගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වේ.

2015 ජනවාරි මස පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව පිහිටුවන ලද නව රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රුවන් විජයවර්ධන මහතා පත්කරනු ලබයි. මෙය රුවන් විජයවර්ධන මහතාගේ සහජ හැකියාවන් හා දක්‍ෂතාවයන් පිළිබඳ වත්මන් ජනාධිපති තුමන් සිදුකල අගය කිරීමක් ලෙස දැක්විය හැක.

වෘත්තීය ජීවිතය

1998 වර්ෂයේදී සතිමැද පුවත්පතක් වන "මිඩ් වීක් මිරර්" ප්‍රවෘති පත්‍රයේ (Midweek Mirror Newspaper) මාධ්‍ය කරුවෙක් ලෙස වෘතීය ජීවිතය අරඹන රුවන් විජයවර්ධන මහතා එහි ඉතා කැපවිමෙන් යුතුව සිය කටයුතු ඉටුකරන අතර විජය පුවත්පත් සමාගමේ දිනපතා හා සතිපතා ප්‍රවෘති පත්‍රවල සෝදුපත් පරීක්ෂා කරන්නා ලෙස ඉතා වැදගත් හා කාර්යබහුල ජිවිතයක් ගත කරයි.

2002 වසරේදි විජය ප්‍රවෘති පත්‍ර (පුද්) සමාගමේ සභාපතිවරයාගේ උපදේශකවරයා මෙන්ම පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස කටයුතු අරඹයි.

වෘත්තිය ජයග්‍රහණයන්

2009 වසරේ සිට ආර්.එස් ප්‍රින්ටෙක් පෞද්ගලික සමාගමේ (RS Printek (Pvt) Ltd) කළමණාකාර අධ්‍යක්‍ෂක ලෙස ද

2012 වසරේ සිට “විජය මන්දිර" දේපල වෙලඳාම් පෞද්ගලික සමාගමේ (Wijeya Mandira (Pvt) Ltd a property holding company) අධ්‍යක්‍ෂ වරයෙක් ලෙස,

2010 වසරේ සිට “ලේක් හවුස් මුද්‍රණ සහ ප්‍රකාශන” සමාගමේ (Lake House Printers and Publishers PLC) අධ්‍යක්‍ෂ වරයෙක් ලෙස ද කටයුතු කරයි.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ