››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

2017 ඉන්දීය සාගර සමුළුව අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2017.09.01 වන දින අරලියගහ මන්දිරයේදී

2017 ඉන්දීය සාගර සමුළුව අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව -

(2017.09.01 වන දින අරලියගහ මන්දිරයේදී)

[2017/09/04]

ඉන්දීය සාගර සමුළුව 2017 සමග ඉතා ඉහළ කැපවීමකින් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඔබත් සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන්ම මෙම සමුළුවට සහභාගි වෙන සියලූම රටවල්වල රාජ්‍ය තාන්ත‍්‍රික ගෞරවනීය නියෝජිතවරුන්ට, මැති ඇමතිවරුන්ට ශ‍්‍රී ලංකා රජයත්, ජනතාවත් වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා.

අද ඔබ අප සෑම කෙනෙක්ම ඉන්දීය සාගර 2017 සමුළුව පවත්වනු ලබන්නේ ඉතා වැදගත් කරුණු රාශියක් මුල්කර ගෙනයි. දින දෙකක් ඔබ මේ සමුළුවට සහභාගි වෙමින් ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ජා කර තිබෙනවා. ඒවගේම යෝජනා කර තිබෙනවා. ඉල්ලීම් කර තිබෙනවා. ඉන්දියන් සාගරයේ ආශිර්වාදය ලබන මේ පැමිණ සිටින රටවල්වල ජනතාවට පමණක් නොව සමස්ත ලෝක ප‍්‍රජාවට, ජාත්‍යන්තර ආර්ථිකයට, ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂාව සඳහා, නව තාක්ෂණික දැනුම බෙදා හදා ගැනීම සඳහා නව තාක්ෂණික නාවික කටයුතු සඳහා ලෝකයේ සියලූම රටවල්වල ආර්ථික, වෙළෙඳ, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මෙහිදී ඉන්දියන් සාගරයේ වැදගත්කම මෙන්ම සියලූම ලෝක ප‍්‍රජාවන්හි අවධානය ඉන්දියන් සාගරය වෙත යොමුවී තිබෙන අවස්ථාවක්.

අප කවුරුත් සාමය පිළිබඳව කතා කරනවා. අප කවුරුත් ආර්ථික සංවර්ධනය පිළිබඳව කතා කරනවා. අප කවුරුත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව කතා කරනවා. අප කවුරුත් නව තාක්‍ෂණික දැනුම ලෝකයේ සියලූම ප‍්‍රජාවන් වෙත බෙදා හදා ගැනීම සඳහා සාකච්ඡා කරනවා. එවැනි අවස්ථාවක මෙහි පැමිණ සිටින සහෝදර මිත‍්‍ර රටවල් මෙන්ම ඉන්දීය සාගරයට අයත් නොවන්නා වූ ලෝකයේ අනිකුත් රාජ්‍යයන් මේ සමුළුවේ වැදගත්කම ඉතාමත් මැනැවින් වටහා ගෙන තිබෙනවා. සෑම රටක්ම රට අභ්‍යන්තරයේ සාමය ඉතාමත් අගය කරනවා. සෑම රටක්ම ජාතීන් අතර සමගිය ඉතාමත් අගය කරනවා. සෑම රටක්ම ජාතික සංහිඳියාව ඉතාමත් අගය කරනවා. එසේම අන්තර්ජාතික වශයෙන් එසේ නොමැති නම් ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර සමගිය, ජාත්‍යන්තර සංහිඳියාව, ජාත්‍යන්තර සහෝදරත්වය මුළුමහත් මානව ප‍්‍රජාවගේ ජාත්‍යන්තර ආරක්ෂාව වැනි කරුණු සාර්ථක කර ගැනීම සඳහා මේ සෑම කෙනෙක්ම කැපවී සිටිනවා.

ශ‍්‍රී ලංකා රජය, ඒවගේම අපේ ආදරණීය ශ‍්‍රී ලාංකික ජනතාව ඉන්දීය සාගර 2017 සමුළුවේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා කැපවී සිටිනවා. ඔබේ යෝජනා, ඔබේ අදහස් ඔබ විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු ඉතා වැදගත් කොට සලකනවා වගේම එම කරුණු ක‍්‍රියාවට නැංවීම සඳහා මේ සමුළුව ගන්නා වූ තීන්දු තීරණ මත ශ‍්‍රී ලංකා රජය එම කටයුතු සාර්ථක කිරීමට සැමවිටම බැඳීසිටින බව මම සඳහන් කළ යුතුයි. සාගරයන්හි තිබෙන වටිනාකම් පිළිබඳව කතා කරන විට නව තාක්‍ෂණික ලෝකයේ නාවික ගමනාගමනය, වෙළෙඳ කටයුතු සඳහා තිබෙන සම්බන්ධතා ඉතාමත් වැදගත් වෙනවා. සාගර සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා අපි සෑම කෙනෙක්ම ඉතා ඉහළ වගකීමකින් බැඳී සිටිනවා. මිනිසාගේ යහපත සඳහා, සියලූ රාජ්‍යයන්හි යහපත සඳහා, මුළුමහත් මානව සමාජයේ යහපත සඳහා අපි සැමවිටම සාගරය සමග කටයුතු කරනවා වගේම සාගරය අව භාවිතා කිරීම ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබනවා. එහිදී සාමය කඩවන ආකාරයේ යුද කටයුතු සඳහා සාගරය භාවිතා කෙරෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා සාගරය භාවිතා කිරීම් සිදු කරනවා. මිනිස් ජාවාරම් සඳහා මිනිස් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් සාගරය භාවිතා කිරීම සිදුකරනවා. අනතර්ජාතික ත‍්‍රස්තවාදය සඳහා සාගරය භාවිතා කරනවා. මා දන්නා පරිදි මේ සමුළුව තුළ මේ පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා වන්නට ඇතැයි මා විශ්වාස කරනවා.

1960 වසරේ හිටපු ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ පළවෙනි කාන්තා අගමැතිනිය බව ඔබ සෑම කෙනෙක්ම දන්නා බව මා විශ්වාස කරනවා. අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතීන්ගේ සමුළුව තුළ 60 දශකයේදී ඉන්දියන් සාගරය සාම කලාපයක්, සාම සාගරයක් කිරීම සඳහා මුලින්ම යෝජනා ඉදිරිපත් කළ බව විශේෂයෙන්ම මා මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒවගේම මෑත භාගයේදී ඉන්දීය අග‍්‍රමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියන් සාගරයේ වැදගත්කම පිළිබඳව මෙම සමුළුව අමතමින් ඉතා වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය සාගරය සමග සම්බන්ධතා පවත්වන මේ සාගරය අවට එක්වී සිටින මිත‍්‍ර රටවල් සෑම රටක්ම ප‍්‍රජාතන්තවාදී රටවල් බැවින් මේ රටවල්වල පාර්ලිමේන්තු ක‍්‍රමය ක‍්‍රියාත්මක වන නිසා ඉන්දීය සාගර පාර්ලිමේන්තු සමුළුවක් පිළිබඳව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෑත භාගයේ යෝජනා ඉදිරිපත් කර තිබුණා. මෑත භාගයේ ඉන්දියන් සාගරයේ වැදගත්කම පිළිබඳව සඳහන් කරමින් රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, විද්වතුන්, විද්‍යාඥයින් එවැනි කරුණු ගණනාවක් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ නිසා අපි සෑම කෙනෙක්ම සහෝදරත්වය, මිත‍්‍රශීලීභාවය අන්තර්ජාතික සබඳතා මේ සියල්ල තුළ ඉතා ශක්තිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව මේ පැමිණ සිටින පිරිස මා මුලින් කී පරිදි ඉදිරිපත් කරන යෝජනා, අදහස්, විවේචන, ඇතැම් විට චෝදනා ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් ඉන්දීය සාගරය සාම සාගරයක් කිරීමටත් ඉන්දියන් සාගරය මුළුමහත් මානව ප‍්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය සඳහා ක‍්‍රියාකරන්නා වූ වැදගත් වන්නා වූ සාගරයක් ලෙසත්, නව තාක්ෂණික දැනුම මත ලෝකය වේගයෙන් ඉදිරියට යද්දි මුළුමහත් මානව ප‍්‍රජාවට නව තාක්‍ෂණික දැනුම ලබාදෙන විශේෂිත ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවටත් ඉන්දීය සාගරය පත්විය යුත යැයි මා විශ්වාස කරනවා.

අද දවසේ මේ වැදගත් සමුළුවට සහභාගි වන ඔබ සියලූදෙනාට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් සහ ආදරණීය ශ‍්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මම නැවතත් මගේ ගෞරවය ස්තූතිය පළ කරනවා. මගේ සුන්දර මාතෘභූමිය ලෝකයේ ඓතිහාසික වශයෙන් භූගෝලීය වශයෙන් වැදගත් වන්නා වූ කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීම ඉතාමත් වැදගත් බව ඔබ දන්නවා. මෙහි පැමිණ සිටින මිත‍්‍ර රටවල්වලට වගේම මුළුමහත් ලෝකයටම මුළුමහත් ජාත්‍යන්තර ප‍්‍රජාවටම මගේ උතුම් මාතෘභූමිය, නව තාක්‍ෂණික දැනුම බෙදාහදා ගැනීමට, වෙළෙඳ, නාවික කටයුතු ශක්තිමත් කිරීමට මුළුමහත් මානවයාගේ අනාගත සංවර්ධනය සඳහා කටයුතු කිරීමට ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක් බව ඔබ කවුරුත් දන්නවා. ඒ නිසා මේ පැමිණ සිටින සෑම රාජ්‍යයකම අපේ මිත‍්‍රශිලී සහෝදර රටවල් මෙන්ම අනිකුත් සෑම රාජ්‍යයන්ටම යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ආධ්‍යාත්මික වශයෙන් දියුණු ලෝකයක් ගොඩනැගීම සඳහා නව තාක්‍ෂණය සමග මුළුමහත් ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉදිරියට යන්නට ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් වශයෙන් මගේ උතුම් මාතෘභූමිය මුළුමහත් ලෝක ප‍්‍රජාවට සහෝදරත්වයෙන් සහ මිත‍්‍රශීලී ලෙස දෑත් දිගු කරන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අවසාන වශයෙන් මෙහි පැමිණි ඔබ සියලූදෙනාට නැවත නැවතත් මගේ ස්තූතිය පුද කරමින් මේ සඳහා කැපවීම් කරන සියලූම පැමිණ සිටින රාජ්‍යයන් වගේම මේ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා විශිෂ්ට මගපෙන්වීමක් කරන ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඇතුළු ඉන්දීය රාජ්‍යයටත්, මේ පැමිණ සිටින සියලූම රාජ්‍යයන්හි රාජ්‍ය නායකයින්, නියෝජිතයින් ඒ සෑම කෙනෙකුටමත් මගේ ගෞරවය, ආශිර්වාදය, සුබපැතුම් පිරිනමමින් ඔබ අප සියලූදෙනාම සහෝදරත්වයෙන්, මිත‍්‍රශිලී ලෙස හෙට දවස වෙනුවෙන් ඉතා යහපත් ලෝකයක් ගොඩනගන්න, සුන්දර ලෝකයක් ගොඩනගන්න, ලෝකය තුළ සාමය ඇති කරන්න, ආර්ථික සංවර්ධනය ඇති කරන්න, දුගී බව නැති කරන්න, ඒවගේම නව තාක්‍ෂණය සමග වඩාත් දියුණු ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න, කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලූදෙනාටත්, සමුළුවටත් ආශිර්වාද කරමින්, සුබපතමින් ස්තූතිවන්ත වෙමින්, මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ